බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් - කාලගුණයෙන් අලුත්ම නිවේදනය

Department of Meteorology Weather Latest Headlines Rain Sinhala news
By R.rishma Oct 13, 2026 02:27 AM GMT
Report

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (13) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ සහ දිවයින වටා පිහිටි ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාව ඇතුළු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇති විය හැකිය.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇති වීමේ හැකියාව ද පවතින බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.