නාමල් හිර ඉඳන් පාසල් පොත්වල සිට කිරි බිත්තර දක්වා බදු සහන ඉල්ලයි
පාසල් දරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සහ පෝෂණයට අදාළ ආහාර ද්‍රව්‍ය සඳහා 2027 අයවැයෙන් බදු සහන ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
2026 ඔක්තෝබර් 09 වැනිදා දිනැතිව යොමු කර ඇති එම ලිපියෙන් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන වියදම් සහ පවුල්වල ජීවන වියදම ඉහළ යමින් පවතින පසුබිමක මෙම බදු සහන ලබාදීම වැදගත් වන බවයි.
2024 අගෝස්තු මාසයේ පැවති මැතිවරණ රැලිවලදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පාසල් භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) ඉවත් කිරීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබූ බවද නාමල් රාජපක්ෂ මහතා සිය ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.
එමෙන්ම, ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා සියයට බිංදුවක VAT අනුපාතයක් හඳුන්වාදීම පිළිබඳ යෝජනා ඇතුළත් කර තිබූ බවද ඔහු පෙන්වා දෙනවා.
ඒ අනුව පාසල් පොත් හා අභ්‍යාස පොත්, ලිපිද්‍රව්‍ය සහ පාසල් උපකරණ, දේශීය කිරි හා බිත්තර, ළදරු කිරි සහ දරුවන්ගේ පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පනවා ඇති VAT ඇතුළු අනෙකුත් අදාළ බදු නැවත සමාලෝචනය කර, 2027 අයවැයෙන් එම බදු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටින්නේ.
මෙවැනි බදු සහනයක් ලබාදීමෙන් අඩු හා මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට සෘජු සහනයක් හිමිවන අතර, දරුවන්ගේ අධ්‍යාපනය සහ පෝෂණය නඟාසිටුවීමටද එය වැදගත් පියවරක් වනු ඇති බව නාමල් රාජපක්ෂ මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.