ගඟක් අවහිර වී මහා ගංවතුරක් - නේපාලයේ ප්‍රදේශ රැසක් අවදානමේ
නේපාලයේ ගෝර්කා දිස්ත්‍රික්කයේ බුධි ගන්ඩාකි ගඟේ අද (11) අලුයම ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ජනාවාස, පාලම් සහ යටිතල පහසුකම්වලට හානි සිදුව තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් චුම්නුබ්‍රි සහ ධර්චේ යන ග්‍රාමීය නගර සභා බල ප්‍රදේශවලට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මූලික වාර්තාවලට අනුව, කත්මණ්ඩු අගනුවරට බටහිර දෙසින් කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි ගෝර්කා දිස්ත්‍රික්කයේ චුම්නුබ්‍රි ප්‍රදේශයේ සිදුවූ වියළි නායයෑමක් හේතුවෙන් බුධි ගන්ඩාකි ගඟ අවහිර වී තිබෙනවා. ඒ හේතුවෙන් ගඟේ පහළ ප්‍රදේශවල හදිසි ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවට මූලික තොරතුරු අනාවරණය වනවා.
කෙසේ වෙතත්, ගංවතුර තත්ත්වයට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නැහැ. සිදුව ඇති හානි පිළිබඳ වැඩිදුර තොරතුරු රැස් කිරීමට එරට බලධාරීන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වනවා.
ශ්‍රී ලාංකිකයන්ට බලපෑමක් නැහැ
මේ අතර, ගෝර්කා දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් පවතින බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
එමෙන්ම, ගංවතුර තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල වර්තමාන තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත අඛණ්ඩව දැනුම්දීමට ද තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.