අරගලය ජයගන්න අලුත් පාරක්.

Sri Lankan protests
By Wayomi May 11, 2022 10:06 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ දවස් වල ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයත් සමඟ රට පුරා විරෝධතා උද්ඝෝෂණ රැල්ලක් පටන් අරන් තියෙනවා. පහුගිය දවස් දෙක තුනේ නම් එහි ප්‍රචණ්ඩකාරීත්වය වැඩි වුණා. රටපුරා යන අරගල වල ගොඩක් වෙලාවට වෘත්තීය අරගල කරුවන් දකින්න ලැබුණත් පාට, පක්ෂ, ජාති භේද නැති අරගලකරුවන් තමයි මේකට මුල පිරුවේ. ඉතින් ඔය කවුරු කොහොම මොන විදිහට අරගල කලත් ප්‍රචණ්ඩ නොවී අරගල දිනන්නේ කොහොමද කියලා අපි බලමු. 

හිතේ කැකෑරෙන වදන් එක්ක බෝඩ් එකක් අරන් පාරට බහින්නේ ආවේගශීලීත්වය පිටකරමින්. හැබැයි ආවේගයෙන් එලියට බැස්සට අපි පටන් ගන්නේ සාමකාමී අරගලයක්. කොතරම් ආවේගයක් හිතට ආවත් ගහ මරාගෙන නම් මේ යුද්ධය ජය ගන්න වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් රටේ පාලක පක්ෂයට තමයි විරෝධතාව එල්ල වෙන්නේ.ඉතින් ඔවුන් විරෝධතාකරුවන් මර්දනයට ඉදිරියට දාන්නෙ රටේ ඉන්න ආරක්ෂක අංශ. ඊට පසේ අපේ සාමාන්‍ය ජනතාව රණවිරුවන් කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක් ඇති කරගෙන ඔවුන් සමඟ සටන් වදින්න පවා සූදානම් වෙනවා.

 ගොඩක් වෙලාවට සාමකාමී විරෝධතාවයක් වුණත් විවිධ මතිමතාන්තර සහ කඩාකප්පල්කාරී ක්‍රියාවක් මගින් ඒක අල කරන්න විවිධ පාර්ශවයන් විරෝධතාවය මැද්දට එන්න පුළුවන්. එවැනි පුද්ගලයන්ව ප්‍රචණ්ඩකාරීත්වයකින් තොරව එතනින් ඉවත් කරන්න.නැත්නම් ආරක්ෂක අංශයට භාර දෙන්න.

ඒ වගේම ඔබ මතක තියා තියා ගත යුතු කාරණයක් තමයි පුද්ගල ප්‍රහාර වලින් තොර විරෝධතා කිරීම. ඒ කියන්නේ අපි රටේ පාලකයාට එරෙහිව විරෝධතාවයක් ගෙනියනවා නම් , අපි සටන් පාඨ විදියට පාවිච්චි කරන්න ඕන පාලකයාට විරුද්ධත්වය පිළිඹිබු වන දේ විතරයි. රටේ පාලනයට කිසිසේත් අදාළ හෝ සම්බන්ධ නැති පුද්ගලයන් සහ කරුණු ඉදිරිපත් කිරීම සුදුසු නැහැ.

අපි විරෝධතාවයක් කරන්නේ තමන්ගේ මතය පමණක් ඉදිරිපත් කිරීම නොව සියලු දෙනාම එකම මතයකට එරෙහිව නැඟී සිටිමයි.ඒ නිසා විරෝධතා අස්සේ ඔබේ න්‍යාය පත්‍රයන් දිගහරින යන්න එපා. අවසානේ ප්‍රචණ්ඩකාරීත්වයට ඔබත් හවුල්කාරයෙක් විය හැකියි. පුළුවන් තරම් සාමකාමීව, එකමුතුව අරගලයේ යෙදෙන්න. කිසිම වෙලාවක නීතිය අතට ගන්න යන්න එපා, ඔබේ අතින් පුංචි හෝ වැරැද්දක් සිදු නොවෙන්න වගබලාගන්න.