ඉන්දියාව සහ කැනඩාව සමීප වෙයි

India Canada Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 13, 2026 06:32 AM GMT
Report

ඉන්දියාව සමඟ වෙළෙඳ සබඳතා පුළුල් කිරීමේ අරමුණින්, වසර 30කට වැඩි කාලයකට පසු එරටට යවන විශාලතම වෙළෙඳ නියෝජිත කණ්ඩායම යැවීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 12 වනදා සිට 17 වනදා දක්වා කැනේඩියානු ව්‍යාපාරික නියෝජිතයන් 300කට ආසන්න පිරිසක් ඉන්දියාවේ මුම්බායි සහ බැංගලෝර් නගරවල සංචාරය කිරීමට නියමිතයි.

කැනඩාවේ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මනින්දර් සිධුගේ ප්‍රධානත්වයෙන් මෙම සංචාරය සිදු කෙරෙනවා.

2030 වසර වන විට දෙරට අතර වාර්ෂික වෙළෙඳාම කැනේඩියානු ඩොලර් බිලියන 70ක් දක්වා ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණක්.

2025 වසරේදී ඉන්දියාව සහ කැනඩාව අතර භාණ්ඩ හා සේවා වෙළෙඳාමේ වටිනාකම කැනේඩියානු ඩොලර් බිලියන 30.4ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ගුවන් හා අභ්‍යවකාශ තාක්ෂණය, කෘෂිකාර්මික ආහාර නිෂ්පාදන සහ පරිසර හිතකාමී තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල කැනේඩියානු විශේෂඥතාව ඉන්දියාවේ වර්ධනය වන ඉල්ලුම සමඟ සම්බන්ධ කිරීම මෙම වෙළෙඳ මෙහෙයුමේ අරමුණක් බව කැනේඩියානු ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ අතර, දෙරට අතර විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් හෙවත් CEPA ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා ද පැවැත්වෙනවා.

එහි පස්වැනි සාකච්ඡා වටය ඔක්තෝබර් 5 වැනිදා සිට 9 වැනිදා දක්වා ඔටාවාහිදී පැවැත්වුණා. මෙම වසර අවසන් වන විට ගිවිසුම සම්බන්ධ සාකච්ඡා අවසන් කිරීම දෙරටේ අපේක්ෂාවයි.

කැනඩාව සිය අපනයන වෙළෙඳපොළ ඇමරිකා එක්සත් ජනපදයෙන් ඔබ්බට විවිධාංගීකරණය කිරීමට උත්සාහ කරන පසුබිමක, ඉන්දියාව එහි ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

නව වෙළෙඳ හවුල්කාරිත්ව සහ ආයෝජන අවස්ථා ඇති කිරීම හරහා දෙරටේ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අපේක්ෂාවයි.