ශිරන්ති රාජපක්ෂට විවෘත හදවත් සැත්කමක්ද?
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වන විට විවෘත හදවත් සැත්කමකට භාජනය වෙමින් සිටින්නේද යන්න සොයා බලා වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, තම සේවාදායිකාව මේ වන විට කොළඹ ජාතික රෝහලේදී විවෘත හදවත් සැත්කමකට භාජනය වෙමින් සිටින බවයි.
එම තත්ත්වය විශේෂ කරුණක් ලෙස සලකා ඇයට ඇප ලබාදෙන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ, එවැනි සැත්කමක් සම්බන්ධයෙන් පැමිණිල්ලට කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
ඒ අනුව, අදාළ නඩුව අද පස්වරු 2.00ට යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය සැත්කමකට භාජනය වෙමින් සිටින්නේද යන්න පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.