කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..

Sri Lanka Climate Change Weather
By Sithumi Oct 20, 2022 02:41 PM GMT
Report

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ උතුරු අන්දමන් මුහුදේ ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සඳහායි.

එහි දැක්වෙන්නේ උතුරු අන්දමන් මුහුද සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිත සහ ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශවල අද උදෑසන අඩු පීඩන කලාපයක් නිර්මාණය වූ බවයි. එය බටහිර – වයඹ දෙසට ගමන් කර ලබන 22 වනදායින් පමණ පසු එම මුහුදු කලාපය තුලම පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා.

ඉන් පසු 23 වැනි දින ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් පසුව 24 වනදා වන විට සුළි කුණාටුවක් දක්වාත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ. අනතුරුව එය ක්‍රමයෙන් උතුරු – ඊසාන දෙසට ගමන් කර 25 වනදා බටහිර බෙංගාල වෙරළ ආසන්නයට ළඟාවීමට හැකියාවක් පවතිනවා.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 07ත් 14ත් සහ නැගෙනහිර දේශාංශ 90 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40ක් 45ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකියි. ඉහත මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවීමේ හැකියාව පවතිනවා.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 100 අතර මුහුදු ප්‍රදේශයට හෙට (21) සිට 25 වනදා දක්වා කාලය තුල යාත්‍රා නොකරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now