බිහිසුණු ‘දුජුවාන්’ කුණාටු උවදුරෙන් ජපානයේ ජීවිත 4ක් අහිමි වෙයි

Japan Cyclone Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Sep 22, 2026 09:35 AM GMT
Report

ජපානයේ ටෝකියෝ අගනගරය සහ අවට ප්‍රාන්තවලට දැඩි වර්ෂාපතනයක් හා ප්‍රබල සුළං තත්ත්වයක් ඇති කරමින් බලපෑ ‘දුජුවාන්’ (Dujuan) සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 50,000කට අධික පිරිසකට විදුලිය විසන්ධි වී ඇති අතර, ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කිරීමට හෝ අත්හිටුවීමට සිදුව තිබේ.

කනාගාවා සහ චිබා ප්‍රාන්තවල සිදුවූ නායයෑම් හේතුවෙන් මෙම මරණ වාර්තා වී ඇති අතර, තවත් පුද්ගලයින් හයදෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘දුජුවාන්’ සුළි කුණාටුව පැයට කිලෝමීටර් 130ක පමණ ස්ථාවර සුළං වේගයකින් යුක්ත වූ අතර, ඇතැම් අවස්ථාවලදී පැයට කිලෝමීටර් 194ක් පමණ දක්වා වේගවත් සුළං ප්‍රහාර වාර්තා වී තිබේ.

කුණාටුව හේතුවෙන් තවදුරටත් ප්‍රදේශ කිහිපයකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල සුළං තත්ත්වයක් බලපා ඇති අතර, බලධාරීන් ජනතාවට අවදානම් ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.