ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලෝක ශ්‍රේණිගත කිරීම්වල 169 වැනි ස්ථානයට
ලොව පුරා විදේශ ගමන් බලපත්‍රවල ශක්තිය සහ වීසා පහසුකම් පිළිබඳ දත්ත නිරීක්ෂණය කරන ස්වාධීන වේදිකාවක් වන ‘Passport Reports’ විසින් නිකුත් කර ඇති දත්ත අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ 169 වැනි ස්ථානයට පත්ව තිබේ.
එම දත්ත අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයේ සංචාරක හැකියාව පිළිබඳ ‘Mobility Score’ අගය 53කි.
ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 15කට වීසා රහිතව ගමන් කළ හැකි අතර, රටවල් 34කට පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේ (Visa on Arrival) පහසුකම පවතී. තවත් රටවල් 4කට විද්‍යුත් සංචාරක අවසරය (ETA) මත ඇතුළුවීමට හැකියාව ඇති බව එම දත්තවල සඳහන් වේ.
කෙසේ වෙතත්, ගමනාන්ත 145ක් සඳහා කල්තියා වීසා ලබා ගැනීම අවශ්‍ය වන අතර, එය ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර සංචාරවලදී පවතින වීසා සීමාවන් පිළිබිඹු කරයි.
කලාපීය රටවල තත්ත්වය
ශ්‍රී ලංකාව 169 වැනි ස්ථානයේ පසුවන අතර, ඉන්දියාව 131 වැනි ස්ථානයේත්, චීනය 97 වැනි ස්ථානයේත්, රුසියාව 75 වැනි ස්ථානයේත් පසුවෙයි.
පාකිස්තානය 183 වැනි ස්ථානයේ පසුවන අතර, ලිබියාව 175 වැනි ස්ථානයේ සිටී.
එමෙන්ම නේපාලය 171 වැනි ස්ථානයේත්, මියන්මාරය 168 වැනි ස්ථානයේත්, ඉතියෝපියාව 173 වැනි ස්ථානයේත් පසුවන බව ‘Passport Reports’ දත්ත පෙන්වා දෙයි.
ඉහළම ස්ථාන හිමිකරගෙන ඇති රටවල්
ගෝලීය ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හිමිව ඇති අතර, සිංගප්පූරුව දෙවැනි ස්ථානයේත්, ස්පාඤ්ඤය තෙවැනි ස්ථානයේත් පසුවෙයි.
මැලේසියාව සිව්වැනි ස්ථානයේත්, ලක්සම්බර්ග් පස්වැනි ස්ථානයේත් පසුවන අතර, ප්‍රංශය හයවැනි ස්ථානයේත් නෝර්වේ හත්වැනි ස්ථානයේත් සිටී.
'Passport Reports' යනු විදේශ ගමන් බලපත්‍ර මගින් ලබාගත හැකි ජාත්‍යන්තර සංචාරක පහසුකම් පිළිබඳ දත්ත ඉදිරිපත් කරන ස්වාධීන ගෝලීය වේදිකාවකි.
එම වේදිකාව විදේශ ගමන් බලපත්‍රයක සමස්ත ශ්‍රේණිගත කිරීම පමණක් නොව, වීසා රහිත ප්‍රවේශය, පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීම, විද්‍යුත් සංචාරක අවසරය සහ කල්තියා වීසා අවශ්‍ය වන ගමනාන්ත වෙන් වෙන්ව දක්වන අතර, එමගින් එක් එක් විදේශ ගමන් බලපත්‍රයකින් සැබෑ සංචාරක අවස්ථාවලදී ලැබෙන පහසුකම් පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාදීමට උත්සාහ කරයි.