පෙම් හසුනක් නිසා ඇමති පුතෙක් ටියුෂන් සිසුවෙකුට විශාල පිරිසක් බලා ඉද්දි ගහලා.. පොලිසියත් හොල්මන් වෙයි..

Sri Lanka Police Ministry of Education Sri Lanka Accident
By Aruna Sep 28, 2022 07:54 AM GMT
Report

ප්‍රභූ ආරක්ෂකයන් සමග ඩිෆෙන්ඩර්වලින් ඇවිත් ඇමති පුතා කළ හපන්කම දෙනෝදහක් බලා සිටියදී ඩිෆෙන්ඩර් රථවල ආරක්ෂාව මැද පැමිණි ඇමැති පුතෙක් යැයි කියාගත් තරුණයකු ඇතුළු කණ්ඩායමක් කිරිබත්ගොඩ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් ඉදිරිපිටදී පන්තියට පැමිණි සිසුවකුට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර ඇත.

ගම්වාසීන් පවසන අන්දමට විස්සක පමණ කණ්ඩායමක් එම සිසුවාට ලේ වැගිරෙන තුරු පහරදී තිබේ.

පහරදුන් පිරිසට අමතරව කළු ඇඳුම් ඇඳගත් ප්‍රභූ ආරක්ෂකයන් මෙන් වූ පිරිසක් ඩිෆෙන්ඩර් රථවලින් පැමිණ අසල සිටි බවද ගම්වාසීහු පවසති.

ඇමැති පුතා යැයි කියමින් පෙනී සිටි තරුණයාගේ පෙම්වතියට අදාළ උපකාරක පන්තියේදී පෙම් හසුනක් දුන් වරදට මෙම පහරදීම කර ඇතැයි හෙළි වී තිබේ.

පෙරේදා (26) රාත්‍රි 7.30ට පමණ දරුණු ප්‍රහාරයකට ලක්වෙමින් සිටි තරුණයා ගැන පොලිස් හදිසි ඇමතුම් අංශයට හා කිරිබත්ගොඩ පොලිසියට අවට පිරිස් දුරකතන ඇමතුම් කිහිපයක් දී ඇතත් හදිසිවෙන්න එපා එන්නම් කියමින් පොලිසිය දැනුම් දී ඇතැයිද හෙළිවිය.

කිරිබත්ගොඩ පොලිසියේ සිට මීටර් පනහක් පමණ දුරකින් මෙම උපකාරක පන්තිය පිහිටා ඇත.

එම ප්‍රහාරය වාහනවල ගමන් ගත් පිරිස් පවා වාහන නවත්වා බලා සිට ඇතත් කිසිවකුත් එය නැවැත්වීමට උත්සාහ ගෙන නොමැත.

ඒ එය වැළැක්වීමට ගිය දෙදෙනකුටත් කලහකාරීන් පහරදීම නිසාය.

අවට පිරිස් දිගින් දිගටම පොලිසියට දුරකතන ඇමතුම් දී පහරකෑමට ලක්වන තරුණයා මැරෙනතුරු නොපැමිණෙන්නේදැයි විමසා ඇත.

මෙම පහරදීම වැළැක්වීමට එහි සිටි අයකු උත්සාහ ගන්නා මොහොතේ ඇමැති පුතාගේ කල්ලියෙන් ගැලවුණු තරුණයා උපකාරක පන්තිය වෙත දිවගොස් ඇත.

එහිදීත් ප්‍රහාරකයන් එම පන්තියට කඩා වැදී තරුණයාට පහරදී තිබේ.

පොලිසියේ හත්දෙනකු පමණ අවසන් මොහොතේ පිස්තෝල ඇතැතිව සිවිල් ඇඳුමින් එහි පැමිණෙද්දී ප්‍රහාරකයන් පලා ගොස් සිට ඇත.

ප්‍රහාරය එල්ල කළ පිරිස හුණුපිටිය වත්තල පාර දෙසට ගිය බවත්, එම ප්‍රදේශයේ මාර්ගයේ ඇති තත්ත්වය මත නැවත වාහන හරවාගෙන පැමිණිය හැකි බවත් ගම්වාසීන් පෙන්වා දී තිබේ.

ඒ වන විට ඇමැති පුතා බවට කියමින් පෙනී සිටි තරුණයා පැමිණි ටොයෝටා 141 වර්ගයේ කළු පැහැති මෝටර් රථය පොලිසිය දෙසට යළිත් පැමිණෙද්දී අවට පිරිස් වාහනය පෙන්වා දුන් පසු පොලිසිය එය නවතා එහි සිටි අය පොලිසියට රැගෙන ගොස් ඇත.

මෙම සිදුවීමට අදාළව තුවාල ලද තරුණයකු රෝහල්ගතව සිටින බවත්, ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ඇපමත මුදාහැරිය බවත් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා පැවැසීය.

කැලණිය නියෝජනය කරන ඇමැතිවරයකුගේ පුතෙකු මෙහි සිටි බව හඳුනාගෙන තිබේ.

දිගින් දිගටම මෙම උපකාරක පන්තිය අසල ගැටුම් හටගන්නා නිසා මෙම සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශන සැලකිල්ලට ගෙන මෙවැනි අමානුෂික ගැටුම් වැළැක්වීමට කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ඊයේ (27 ) සාකච්ඡා කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now