පොළොන්නරුව රෝහලේ පිපිරිම ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්
පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයි පරිශ්‍රයේ අද (26) අලුයම සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ.
අලුයම 4.00ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. ඔවුන් තිදෙනා මේ වනවිට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.
ප්‍රධාන මුළුතැන්ගෙයි සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක පළ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
පිපිරීම හේතුවෙන් රෝහල ආසන්නයේ පිහිටි ගොඩනැගිලි කිහිපයකටද දැඩි හානි සිදුව තිබේ.
මේ අතර, රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති අතර, පිපිරීමෙන් කිසිදු රෝගියෙකුට හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
සිද්ධිය සැලවීමෙන් අනතුරුව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාද රෝහල වෙත පැමිණ තිබේ. සිදුවූ හානිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද රෝහල වෙත පැමිණීමට නියමිත බව වාර්තා වේ.