ඩෙංගු රතු කට්ට පනී - ගම්පහ සහ කොළඹින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්

Sri Lanka Dengue Prevalence in Sri Lanka Latest Headlines Sinhala news
By R.rishma Sep 26, 2026 10:39 AM GMT
Report

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව, මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 99,634 දෙනෙකු වාර්තා වී ඇති අතර, රෝගීන් අතර මරණ අනුපාතය 0.077%ක් ලෙස සටහන් වේ.

වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.53%ක්, එනම් රෝගීන් 52,340 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 21,136කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,569ක්, මහනුවරින් 7,547ක්, කළුතරින් 6,339ක් සහ මාතරින් 6,273ක් වාර්තා වී තිබේ. 

මාසික දත්ත අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964කි. ජූනි මාසයේදී රෝගීන් 21,533ක් වාර්තා වී ඇති අතර අගෝස්තු මාසයේදී එම සංඛ්‍යාව 10,155කි.

සැප්තැම්බර් මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 4,144 දෙනෙකු වාර්තා වී තිබේ. මේ අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් පරිසරය පිරිසිදුව තබා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.