ආයෝජන පමණක් නොව දිගුකාලීන තාක්ෂණික හවුල්කාරීත්වයක් ගොඩනැගීම අපේ අරමුණයි - අගමැතිනිය
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හැකියාවන්, දැනුම සහ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කරමින් ආයෝජකයන් සඳහා අවස්ථා නිර්මාණය කරන දිගුකාලීන හවුල්කාරීත්වයන් ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
කොළඹදී පැවැත්වෙන ගෝලීය ප්‍රධාන තොරතුරු නිලධාරීන්ගේ සමුළුවට (Global CIO Forum) ඊයේ (23) එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
සැප්තැම්බර් 22 සිට 24 දක්වා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධිය, සයිබර් ආරක්ෂාව, ඩිජිටල් පොදු යටිතල පහසුකම්, ක්ලවුඩ් තාක්ෂණය, තිරසර නවෝත්පාදනය සහ ඩිජිටල් නායකත්වයේ අනාගතය ඇතුළු කරුණු පිළිබඳව ජාත්‍යන්තර තාක්ෂණික නායකයන් අතර සාකච්ඡා පැවැත්වේ.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ, ඩිජිටල් පරිවර්තනය ශ්‍රී ලංකාවට හුදෙක් තාක්ෂණික න්‍යාය පත්‍රයක් නොවන අතර, එය රටේ පුළුල් ආර්ථික හා සමාජ පරිවර්තනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි.
වඩාත් ඵලදායී, කාර්යක්ෂම සහ සියලු දෙනා ඇතුළත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රජය දරන ප්‍රයත්නයන්හි ප්‍රධාන අංගයක් ලෙස ඩිජිටල් පරිවර්තනය හඳුනාගෙන ඇති බවද ඇය පැවසුවාය.
අනාගත ආර්ථික වර්ධනය සඳහා තාක්ෂණය ප්‍රධාන මෙවලමක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඩිජිටල් අපනයන ක්ෂේත්‍රය ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා සංවර්ධනය කිරීමේ ඉලක්කයක්ද රජය සතුවන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ඩිජිටල් පරිවර්තනය ජනතාවගේ පහසුව සහ යහපත සඳහා ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් ඇය, තාක්ෂණය හරහා ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, අවස්ථා සඳහා ප්‍රවේශය පුළුල් කිරීම, පොදු සේවා ශක්තිමත් කිරීම සහ ආර්ථික සහභාගීත්වයට සහාය වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළාය.
එමෙන්ම, ඩිජිටල් තාක්ෂණයට ප්‍රවේශ වීමේදී පුද්ගලයන්ගේ ජීවත්වන ස්ථානය, ආදායම, භාෂාව හෝ ස්ත්‍රී පුරුෂභාවය බාධාවක් නොවන පරිසරයක් නිර්මාණය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා ඩිජිටල් තාක්ෂණයට ප්‍රවේශය ලබාදීම, ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම සහ ඩිජිටල් ආර්ථිකයට පූර්ණ ලෙස සහභාගී වීමට අවස්ථාව සැලසීමද වැදගත් බව ඇය සඳහන් කළාය.
තාක්ෂණය ජනතාව වෙනුවෙන් සහ ජනතාවගේ යහපත සඳහා භාවිත කළ යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, එමගින් තරුණයන් සඳහා අවස්ථා නිර්මාණය කිරීම, ව්‍යාපාර ශක්තිමත් කිරීම, පොදු සේවා වැඩිදියුණු කිරීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරමින් සියලු දෙනා ඇතුළත් තිරසර අනාගතයක් ගොඩනැගිය යුතු බවද පැවසුවාය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්, රජයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියෝජිතයන් මෙන්ම ඩිජිටල් පරිවර්තනය සම්බන්ධ තාක්ෂණික නායකයන් රැසක් සහභාගී වූහ.