වටවල දුම්රියක් පීලිපැනීමෙන් සිදු වූ දේ..(VIDEO)

Accident Train Mahanuwara Train accident Badulla train station
By Aruna Feb 11, 2022 03:28 AM GMT
Report

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වටවල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක් වී තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව යි පාලක මැදිරිය සඳහන් කරන්නේ.

ගැටලුව නිරාකරණය කොට දුම් රිය ධාවනය යථාවත් කිරීමට ගතවන කාලය හා මේ වනවිට ඊට ගෙන ඇති පියවර පිළිබඳ තවමත් දැනුම්දී නැහැ.

මේ අතර ඊයේ උදෑසන කන්කසන්තුරය වර්ථවිලාන් මාර්ගයේ ශාන්ත මංසන්ධියේදී සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජිවිතක්ෂයට පත් වුණා.

වර්ථවිලාන් සිට කන්කසන්තුර බලා ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු තෙලිප්පලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ , වයස අවුරුදු 17 ක් වන උදයපුරම්, ඉලවාලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ටිපර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී සහ නොසැළකිලිමත් රිය ධාවනය මෙම අනතුරුට හේතුව බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් කන්කසන්තුරය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.

මේ අතර ඊයේ පසවරුවේ සිදුවූ තවත් අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ බලපිටිය බස් නැවතුම අසලදී කොළඹ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා ගමන්කළ පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

ජීවිතක්ෂයට පත් කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පොලිසිය පවසන්නේ. අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝදරථ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති.

එමෙන්ම ඊයේ උදෑසන නිට්ටඹුව මහනුවර ප්‍රධාන මාර්ගයේ මුරුතවෙල ප්‍රදේශයේදී මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මෝටර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලබා සිටි යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 37ක් වන රඹුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now