“පච්චයක් නිසා අවුරුද්දක් හිරේ දාන්න පුළුවන් නම් මේක පොලිස් රාජ්යයක් නෙවෙයිද?” - මධුර විතානගේ
හෝමාගම පොලිස් ස්ථානයේදී තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව ඇති පසුබිමක, යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත හරහා ජනතාවගේ නිදහස සීමා කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවට සර්වජන බලයේ මෙහෙයුම් ප්රධානී නීතිඥ මධුර විතානගේ මහතා චෝදනා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව නැගී එන මහජන විරෝධය පාලනය කිරීම සඳහා නීතිමය ප්රතිපාදන යොදාගැනීමේ අවදානමක් පවතින බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2025 වසරේදී ශ්රී ලංකාවේ පොලිස් ස්ථාන තුළ මරණ 18ක් සිදුවූ බවට තොරතුරු ඉදිරිපත් කර ඇති බවත්, 2026 මාර්තු දක්වා තවත් මරණ තුනක් වාර්තා වී ඇති බවත් විතානගේ මහතා සඳහන් කරයි.
“විරෝධතාකරුවන්ට ත්රස්තවාදී හෝ අපරාධ ලේබල් ගහන්න හදනවා”
ආණ්ඩුව විවේචනය කරන සමාජ ක්රියාකාරීන් සහ විරෝධතාකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් හෝ ත්රස්තවාදීන් ලෙස හඳුන්වා අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවටද ඔහු චෝදනා කරයි. යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතේ ඇතැම් වගන්ති මඟින් පොලිසියට පුළුල් බලතල ලබාදීම ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට බලපෑම් කළ හැකි බව ඔහුගේ අදහසයි.
විශේෂයෙන්ම පනතේ 4(2) වගන්තිය යටතේ ඇඳුම් පැළඳුම්, පච්ච, කොණ්ඩා මෝස්තර සහ වෙනත් ලක්ෂණ සලකා බැලීමේ හැකියාව පිළිබඳව විතානගේ මහතා සිය විරෝධය පළ කරයි. ඔහු පෙන්වා දෙන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධ බවට සැක කිරීමේදී පුද්ගලයන්ගේ බාහිර පෙනුම හෝ පච්ච වැනි ලක්ෂණ පදනම් කරගැනීමෙන් සාමාන්ය ජනතාවද අසාධාරණයට ලක්වීමේ අවදානමක් ඇති බවයි.
“වැඩ බැරි ආණ්ඩුව ජනතා විරෝධය මර්දනය කරන්න හදනවා”
ආණ්ඩුවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බවට චෝදනා කළ විතානගේ මහතා, ඒ හේතුවෙන් මතුවන මහජන විරෝධය පාලනය කිරීම සඳහා මර්දනකාරී නීති ගෙන ඒමට උත්සාහ කරන බවද කියා සිටියි. ජනතාවට සාමකාමීව විරෝධය පළ කිරීමට සහ ආණ්ඩුව විවේචනය කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතු බව අවධාරණය කරන ඔහු, යෝජිත නීති හරහා පොලිසියට අසීමිත බලතල ලබාදීමෙන් රට පොලිස් රාජ්යයක් බවට පත්වීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවයි.
මේ අතර, යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතේ අරමුණ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම බවට රජය ප්රකාශ කර ඇති අතර, පච්ච හෝ කොණ්ඩා මෝස්තර පමණක් හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නීතියෙන් ඉඩ නොලැබෙන බවටද අධිකරණ අමාත්යවරයා පැහැදිලි කර තිබේ.