මහල් පහක් උඩින් පහලට වැටුන දැරිය උඩපන්දුවක් සේ රැකගත් තරුණයා..(PHOTOS)
ඉතාලියේ ටියුරින් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පස් වෙනි මහලේ සඳළු තලයෙන් පහළට වැටුණු තුන් හැවිරිදි දැරියක් පොළවට පතිත වීමට පෙර උඩ පන්දුවක් රැක ගන්නා ආකාරයෙන් මහල් නිවාසය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු පහළ සිට අල්ලා ගැනීම හේතුවෙන් එම දැරියගේ ජීවිතය ආශ්චර්යමත් ලෙස බේරී තිබෙන අපූරු පුවතක් වාර්තා වනවා.
දැරියගේ ජීවිතය බේරා ගත් මටියා අගුස්සි නම් 37 හැවිරිදි මෙම පුද්ගලයා මේ වන විට ඉතාලියේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද වීරයෙක් බවට පත්වී තිබේ.
ඔහු වෘත්තියෙන් බැංකු නිලධාරියෙක් වන අතර, මටියා සිදුවීම විස්තර කරමින් පවසා ඇත්තේ සිය පෙම්වතිය සමඟ වෙළඳසැලට යමින් සිටියදී මහල් නිවාසය දෙසින් ඝෝෂාවක් ඇසුණු බවයි.
ඒ හේතුවෙන් මහල් නිවාසය අසලට ගොස් බැලු විට කුඩා දැරියක් පස්වෙනි තට්ටුවේ සඳළු තලය අයිනට පැමිණෙනු දුටු බවත් තවත් පුද්ගලයකු කෑ ගසන අයුරු දුටු බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
මටියා අගුස්සි පවසා තිබෙන්නේ, ආපහු යන ලෙස පහළ සිට තමන් කෑමොර දුන්නත් එය කුඩා දැරියට නොඇසුණ බවත් අවසානයේ ඇය සඳළු තලයෙන් පහළට වැටුණු බවයි.
දැරිය සඳළු තලයෙන් පහළට වැටෙන අයුරු දුටු විට සියලු දේ හොඳින් සිදු වේ යැයි බලාපොරොත්තුවෙන් ඇස් දෙක පියාගෙන දැරියව අල්ලා ගැනීමට තමන් ඉදිරියට පැන්න බවත් අනතුරව දැරිය තමන්ගේ ඇඟට වැටී දෙදෙනාම බිම වැටුණු බවත් මටියා අගුස්සි පවසා ඇත.
බිම වැටුණු අවස්ථාවේ තමන්ට දැරිය ජීවත් වන බවට කිසිඳු ඉඟියක් නොලැබුනත් ටික වේලාවකින් දැරිය අඩන ශබ්දය තමන්ට ඇසුණු බවත් ඉන් සිතට සතුටක් දැනුනු බවත් ඔහු පවසා තිබේ.
එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ප්‍රථමාධාර නිලධාරීන් දැරිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම පිළිබඳ සියල්ලන්ම පුදුමයට පත්ව ඇත.
ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මෙලෝනි ද මටියා අගුස්සිගේ මෙම වීර ක්‍රියාව පිළිබඳව එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබීම විශේෂත්වයක්.
මීට අදාල ඡායා රූපයන් පහතින්.