බිග් මැච්වලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සැර චක්‍රලේඛයක්

Ministry of Education Drugs schools Alcohol Sinhala news
By R.rishma Sep 05, 2026 08:13 AM GMT
Report

පාසලේ ලාංඡනය භාවිත කරමින් ආදි ශිෂ්‍ය සංගම් ඇතුළු පාසලට සම්බන්ධ ආයතන මඟින් සංවිධානය කරන ක්‍රිකට් තරග හෝ වෙනත් උත්සවවලදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම හෝ භාවිත කිරීම සිදුකළහොත්, එම උත්සවය වහාම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය ලබාදී ඇති බව වාර්තා වේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (විෂය සමගාමී මාර්ගෝපදේශන හා උපදේශන ශාඛාව) මහේෂ් රත්නායක මහතා සඳහන් කර ඇත්තේ, ප්‍රධාන පාසල්වල පැවැත්වෙන මහා ක්‍රිකට් තරගවලදී දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවන බවට දෙමාපියන්ගෙන් චෝදනා ලැබී ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ 2026/10 චක්‍රලේඛය මඟින් පාසල නියෝජනය කරන හෝ පාසලේ ලාංඡනය භාවිත කරන කිසිදු වැඩසටහනකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම සහ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවද ඔහු පවසා තිබේ.

පාසලේ ලාංඡනය භාවිත කරමින් සංවිධානය කරන ඕනෑම උත්සවයක් පාසලට සම්බන්ධ නිල වැඩසටහනක් ලෙස සැලකෙන බැවින්, එවැනි උත්සවවලදී මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ වෙනත් මත්වීමේ ද්‍රව්‍ය භාවිත නොකරන ලෙස ආදි ශිෂ්‍ය සංගම් ඇතුළු පාසල්වලට සම්බන්ධ සියලු ආයතනවලට සහ ඒවායේ සාමාජිකයන්ට දැනුම් දී ඇති බවද සඳහන් වේ.

ඒ අනුව, පාසලේ ලාංඡනය සහිත උත්සවයකදී මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කළහොත්, නව චක්‍රලේඛයේ බලතල අනුව එම උත්සවය වහාම නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට හැකියාව පවතින බව මහේෂ් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලයේ පැවති පාසල් සඳහා ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.