වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට

Sri Lanka India Latest Headlines Colombo politics heat up
By R.rishma Sep 08, 2026 09:15 AM GMT
Report

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (08) ශ්‍රී ලංකාවට පැමිණියේ නිල සංචාරයක් සඳහාය.

රාජ්නාත් සිං මහතා දහවල් 1.25ට ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ.

ඔහු අද සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර, දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.

සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවීමට නියමිතය.

එමෙන්ම, පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කළ ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සමාලෝචනය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම මෙම සංචාරයේ විශේෂත්වයකි.