"ලෙඩ්ඩුන්ට කොත්තමල්ලි බොන්න දීලා ගෙදර තියන්න හදනවා" - නාමල් ආණ්ඩුවට එරෙහිව කඩු උසුලයි
ජනතාවට දරාගත හැකි මට්ටමට ජීවන වියදම පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ වර්තමානයේ රටේ ජීවන වියදම ඉහළ ගොස් ඇති අතර, ග්‍රාමීය ජනතාව මෙන්ම ගොවීන්ද දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ දී සිටින බවයි.
“ජනාධිපතිතුමා හිතන් ඇති පොළට ගියාම පොළේ තියෙන බඩුවල මිල ඇහුවාම උණ හැදෙනවා කියලා. ඇත්ත, බඩු මිල වැඩියි. පොළවල්වලට ගියාම ඒ මිල ගණන් ඇහුවාම මිනිස්සු අසරණ වෙනවා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
“ගොවියාගේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා”
රජය විසින් ලබාදිය යුතු පොහොර ඇතුළු කෘෂිකාර්මික සහන ප්‍රමාද වීම හේතුවෙන් ගොවීන්ට වැඩි මිලකට පොහොර මිලදී ගැනීමට සිදුවන බවද නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය.
එම තත්ත්වය හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යන අතර, අවසානයේ එහි බලපෑම ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද එල්ල වන බව ඔහු පැවසීය.
වී මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ රජය විසින් වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 120ක් හෝ ඊට වැඩි මිලක් ප්‍රකාශ කළද, ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තෙත වී සඳහා රුපියල් 80 - 85ක් සහ වියළි වී සඳහා රුපියල් 90–95ක් වැනි මිලක් ලැබෙන බවයි.
එමෙන්ම, රජය වී මිලදී ගැනීමේදී ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකරන බවටද ඔහු චෝදනා කළේය.
“ජනතාවට රෝහලකට යන්න අයිතියක් තියෙනවා”
රජයේ රෝහල්වල ඖෂධ හිඟය සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දැක්වීය. ජීවිතාරක්ෂක ඖෂධ සහ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රෝහල්වල ප්‍රමාණවත් ලෙස තිබිය යුතු බව ඔහු අවධාරණය කළේය. “කොත්තමල්ලි බොන එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ පුද්ගලයන්ට අයිතියක් තියෙන්න ඕනේ ඉස්පිරිතාලයකට යන්න ඕනේ නම් යන්න,” යනුවෙන්ද මන්ත්‍රීවරයා පැවසීය. ඩෙංගු රෝගය ඇතුළු රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන්ද රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.
ආපදා සහ ජල හිඟය ගැනත් චෝදනා
රටේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම පහළ යමින් ඇති බවත්, ඇතැම් ප්‍රදේශවල ජනතාවට දින 20–25කට වරක් පමණක් පානීය ජලය ලැබෙන තත්ත්වයක් පවතින බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ආපදා තත්ත්වයන් හමුවේ රජය ලබාදෙන බවට ප්‍රකාශ කළ සහන ප්‍රායෝගිකව ජනතාව වෙත ලැබෙන්නේද යන්න සම්බන්ධයෙන් ගැටලු පවතින බවද ඔහු පැවසීය.
දරුවන්ගේ සයිබර් ආරක්ෂාවට නීති දැඩි කරන්නැයි ඉල්ලීමක්
මේ අතර, දරුවන් සයිබර් අපරාධවලින් ආරක්ෂා කිරීම සඳහා රජය මීට වඩා සක්‍රීය මැදිහත්වීමක් සිදුකළ යුතු බවද නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. දරුවන් සයිබර් අවකාශය තුළ මුහුණ දෙන අවදානම් ජාත්‍යන්තර වශයෙන්ද බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බැවින්, ඒ සඳහා අවශ්‍ය නීති රීති ශක්තිමත් කර ක්‍රියාත්මක කළ යුතු බව ඔහු සඳහන් කළේය.
“සුරංගනා කතා නොකියා ජනතාවට දැනෙන වෙනසක් කරන්න”
ආණ්ඩුවේ ප්‍රකාශ සහ සැලසුම් බිම් මට්ටමේදී ජනතාවට දැනෙන ආකාරයට ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය. මාර්ග සංවර්ධනය, අධ්‍යාපනය සහ අනෙකුත් සංවර්ධන කටයුතු සිදුකරන අතරම, ජනතාවට දරාගත හැකි මට්ටමකට ජීවන වියදම පාලනය කිරීමටද රජය කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.