බහින් බස්විමක් දුරදිග ගොස් පෙම්වතිය ඝාතනය කොට, කැළණි ගඟට දැමූ පෙම්වතාට වැඩවැරදුණු හැටි...

Gagana news
By Subodha Mar 21, 2022 09:54 AM GMT
Report

ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ නිවසේදී තම පෙම්වතියව ගෙල සිරකර ඝාතනය කර ඇති පෙම්වතා ඇයගේ මළ සිරුර කාර් රථයකින් රැගෙන ගොස් වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට දමා තිබියදී සොයා ගෙන ඇති බව බෙම්මුල්ල පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ අද (21) කරුණු වාර්තා කළේය .

වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 22 හැවිරිදි එස් .නදිසා සංදීපනි නමැති තරුණියව මෙසේ ඝාතනය කර ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ කීය .

තම දියණිය අතුරුදන් බවට මව්පියන් වැල්ලම්පිටිය පොලීසිය වෙත පැමිණිලි කිරීමට යාමයේ දී සැකකරු ද දෙමාපියන් සමඟ වැල්ලම්පිටිය පොලිසියට ගොස් ඇති බව පොලිසිය කීය .

සැකකරු සහ මරණ කාරිය වසර පහක පමණ කාලයක සිට පෙම්වතුන්ව සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ .

සැකකරු මරණකාරියගේ නිවසට නිතර නිතර ගොස් ඇති බවත් ඉකුත් 16 වෙනිදා සැකකරු පෙම්වතියව වැල්ලම්පිටිය සේදවත්ත නිවසේ සිට ගම්පහ දොරණාගොඩ පිහිටි සැකකරුගේ නිවසට මෝටර් රථයකින් රැගෙන විත් ඇති බව පොලිසිය පවසයි .

සැකකරුගේ නිවසේ කිසිවකුත් සිට නොමැති අතර දෙදෙනා අතර ඇති වූ ආරවුලකදී සැකකරු විසින් තම පෙම්වතියගේ ගෙළ මිරිකා ඝාතනය කර ඇති බවට පොලිස් බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ .

පසුව සැකකරු පෙම්වතියගේ මළසිරුර මෝටර් රථයේ දමාගෙන ගොස් වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේ දී කැලණි ගඟට දමා ඇති බවත් මළසිරුර 18 වැනිදා වැල්ලම්පිටිය පොලිසිය මගින් සොයාගෙන ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ කීය .

දැනට මළසිරුර පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ද පොලීසිය අධිකරණය හමුවේ පැවසීය .

සැකකරුව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව බෙම්මුල්ල පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කළේය .

එම ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ආරම්භ කළ ගම්පහ මහේස්ත්‍රාත්වරිය ඊයේ (21) දහවල් තරුණිය ඝාතනයට ලක්වු ස්ථානය නිරීක්ෂණය කළේය .

එම ඝාතනය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය සහ බෙම්මුල්ල පොලිස් ස්ථාන මගින් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now