‘ප්‍රජා ශක්ති’ වැඩසටහනට ඒකාබද්ධ ඩිජිටල් දත්ත පද්ධතියක්

Latest Headlines Sinhala news Puwath.lk Ministry of Digital Economy
By R.rishma Oct 14, 2026 03:07 AM GMT
Report

රජයේ ප්‍රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහනට අදාළව ඒකාබද්ධ ඩිජිටල් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

මේ සඳහා ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම අදාළ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාම සංවර්ධන කාර්යාංශයේ සහ ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ නිලධාරීහු ද සහභාගී වූහ.

ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ ක්‍රියාවලිය වඩාත් ඵලදායීව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සංවර්ධන අවශ්‍යතා සහ ප්‍රමුඛතා නිවැරදිව හඳුනාගැනීමට අදාළ දත්ත එක් ඩිජිටල් වේදිකාවක් තුළට ඒකාබද්ධ කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

එමෙන්ම, ඒකාබද්ධ දත්ත පද්ධතිය ග්‍රාමීය සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා යොදාගත හැකි ආකාරය සහ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ.