ගල් අඟුරු ගනුදෙනුවෙන් රටට බිලියන 20ක පාඩුවක්? මරික්කාර්ගෙන් බරපතළ චෝදනාවක්

Latest Headlines Lanka Coal Crisis
By R.rishma Oct 13, 2026 11:37 AM GMT
Report

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් රටට රුපියල් බිලියන 20කට ආසන්න පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා චෝදනා කරයි.

අද (13) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු චෝදනා කළේ, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා නැවත සේවයේ පිහිටුවීම සඳහා ලබන ජනවාරි මාසය වන විට රජය තුළ උත්සාහයක් පවතින බවයි.

අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් මෙම ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව රුපියල් බිලියන 15.68ක් බවත්, රුපියල් බිලියන 16.9ක කාර්යසාධන බැඳුම්කරය මගින් එම පාඩුව පියවා ගත හැකි බවත් ප්‍රකාශ කර ඇති බව මරික්කාර් මහතා සඳහන් කළේය. එම ප්‍රකාශය සත්‍ය තත්ත්වය නිරූපණය නොකරන බව ද ඔහු චෝදනා කළේය.

යටිතල පහසුකම් පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව මේ වන විට ලැබී ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.

විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සකස් කළ එම වාර්තාව සම්පූර්ණයෙන් අධ්‍යයනය නොකර අදාළ ප්‍රකාශ සිදුකර ඇති බවට ද ඔහු චෝදනා කළේය. මරික්කාර් මහතා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන අනුව, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් සිදුවූ බව කියන පාඩු මෙසේය.

අතිරේක විදුලිය මිලදී ගැනීම: රුපියල් බිලියන 8.572ක්

අතිරේක ගල් අඟුරු භාවිතය හේතුවෙන් සිදුවූ පාඩුව: රුපියල් බිලියන 7.099ක්.

අමතර නඩත්තු කටයුතු: රුපියල් මිලියන 80.4ක්.

ගල් අඟුරු අළු පාලනය කිරීම: රුපියල් මිලියන 13.1ක්.  

මෙම වියදම් ඇතුළුව වාර්තාවේ සඳහන් සෘජු පාඩුව රුපියල් මිලියන 18,393ක් හෙවත් රුපියල් බිලියන 18.39ක් බව මන්ත්‍රීවරයා පැවසීය. ජල විදුලි උත්පාදනය සඳහා දැරීමට සිදුවූ පිරිවැය සහ ඩීසල් සඳහා ලබාදෙන සහනාධාරවලින් සිදුවූ පාඩු ද සැලකිල්ලට ගත් විට සමස්ත පාඩුව රුපියල් බිලියන 20කට ආසන්න වන බව ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

කාර්යසාධන බැඳුම්කර සහ දඩ මුදල් මගින් රුපියල් බිලියන 16.9ක් අයකර ගත් බවට රජය ප්‍රකාශ කළ ද, ඩීසල් සහනාධාරවල පාඩු හැරුණු විට පවා ආපසු අයකර ගත නොහැකි පාඩුව රුපියල් බිලියන දෙක ඉක්මවන බව ද මරික්කාර් මහතා සඳහන් කළේය.  

කුමාර ජයකොඩි මහතාගේ පාලන සමයේදී ප්‍රසම්පාදන නීති වෙනස් කිරීම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනයට හේතු වූ බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය. ඒ සම්බන්ධයෙන් වගකීමෙන් මිදීමට ඔහුට නොහැකි බව ද මරික්කාර් මහතා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

අදාළ නිල වාර්තාව අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, එහි පිටපත් මන්ත්‍රීවරුන් 225 දෙනාටම ලබාදීමෙන් අනතුරුව එය ජනාධිපති කොමිසමකට හෝ අදාළ විමර්ශන බලධාරීන් වෙත යොමු කරන බවත් මරික්කාර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.