රජයේ රැකියාවක් ලබා දීමට කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි - දේශපාලනඥයෙකුත් සම්බන්ධ වෙයි

Colombo Sri Lanka Bribery Commission Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 08, 2022 09:08 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කාන්තාවකට රජයේ රැකියාවක් ලබාදෙන බවට පවසා ලිංගික අල්ලසක් ඉල්ලීම හා රුපියල් 50,000ක මුදලක් ඉල්ලා එම මුදල ලබා ගැනීමට යෑමේදී අල්ලස් කොමිසම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ යාපනයේ දිස්ත්‍රික් සංවිධායක ඇතුළු සැකකරුවන් දෙදෙනකු ලබන 21 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (07දා) නියෝග කළේය.

උරයප්පුලම්, අතෙයිකෝට්ටේ, කල්මුණේ පදිංචි ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායක මුහම්මදු කාසිම් මුහම්මදු හා ඔහුගේ ලේකම් යැයි කියන එම්.පී.එස්. නවාතැන්පළ, ආදුරුප්පු වීදිය, කොළඹ 13 පදිංචි ලෙබ්බෙ සෙයිනුල් ආබ්දීන් යන සැකකරුවන් දෙදෙනා මෙලෙස අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

රජයේ රැකියාවක් ලබා දෙන බවට පවසා මෙම නඩුවේ පැමිණිලිකාරියගෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් හා ලිංගික අල්ලසක් ඉල්ලා එම එක් ලක්ෂ පනස් දහසක මුදලෙන් රුපියල් පනස් දහසක මුදලක් ලබා ගැනීමට යෑමේදී එම සැකකරුවන් දෙදෙනා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් බව එම කොමිසම අධිකරණය හමුවේ ඊයේ කරුණු වාර්තා කර සිටියේය.

පසුගිය 6 වැනි දින මෙම සැකකරුවන් දෙදෙනා පොල්ගහවෙල පදිංචි පැමිණිලිකාරියගෙන් රුපියල් 50,000ක මුදල අල්ලසක් ලෙස ගැනීමට යෑමේදී පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණයේ පිහිටි බේක්හවුස් ආයතනය තුළදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම කොමිසම අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අල්ලස් කොමිසම වෙනුවෙන් එම කොමිසමේ උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි, උප පොලිස් පරීක්ෂක හර්ෂ, පොලිස් සැරයන් චමින්ද හා පොලිස් සැරෙන් විජේසිංහ යන නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW