ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසය වෙනස් කරන්න නෙත්මි සූදානම්
දැනට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 57 නිදහස් ආර මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා තරග කිරීමට ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු අද (03) සුදුසුකම් ලබා ගත්තාය.
ඒ අනුව, ආසියානු ක්‍රීඩා උළෙලක ද්වන්ධ සටන් ඉසව්වකින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝකඩ පදක්කම සඳහා වන තරගයකට සුදුසුකම් ලැබූ ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙස මෙය සනිටුහන් වේ.
මෙම ඉසව්වේ මූලික වටයේදී නෙත්මි පරාජයට පත් කළ චීන ක්‍රීඩිකා හොං කෙක්සින් රන් පදක්කම සඳහා වන අවසන් තරගයට සුදුසුකම් ලැබීමත් සමඟ, ජාත්‍යන්තර මල්ලවපොර නීති අනුව නෙත්මිට ‘රෙපෙචාජ්’ වටයට එක්වීමට අවස්ථාව හිමි විය.
එහිදී කසකස්ථානයේ එමා ටිසිනා පරාජයට පත් කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ නෙත්මි, ලෝකඩ පදක්කම සඳහා පැවැත්වෙන තරග දෙකෙන් පළමු තරගයට සුදුසුකම් ලබා ගත්තාය.
ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන ලෝකඩ පදක්කම සඳහා වන තරගයේදී නෙත්මි අහිංසා ප්‍රනාන්දු, මොන්ගෝලියාවේ ප්‍රබල ක්‍රීඩිකා ට්සේරෙන්චිමෙඩ් සුඛී සමඟ තරග වැදීමට නියමිතය.
මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.10ට ආරම්භ වීමට නියමිතව තිබේ.