සුනඛ එන්නත්කරණයට නව කොන්දේසියක් - ජලභීතිකා මර්දනය ගැන GMOA කලබල වෙයි
යෝජිත නව නීතිමය සංශෝධන හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජලභීතිකා මර්දන වැඩසටහනට බරපතළ බලපෑමක් එල්ල විය හැකි බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දැඩි කනස්සල්ල පළ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ, යෝජිත පනත් කෙටුම්පතේ එක් වගන්තියක් මගින් සුනඛයන් එන්නත් කිරීම පශු වෛද්‍යවරයකුගේ සෘජු අධීක්ෂණය යටතේ පමණක් සිදුකිරීම අනිවාර්ය කිරීමට යෝජනා කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ රජයේ පශු වෛද්‍යවරුන් සංඛ්‍යාව සීමිත බැවින් එවැනි කොන්දේසියක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම දුෂ්කර වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. එමඟින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දැනට ක්‍රියාත්මක වන සුනඛ එන්නත්කරණ වැඩසටහනට බාධා එල්ල විය හැකි බවද එම සංගමය සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ විශේෂ පුහුණුවක් ලැබූ එන්නත්කරුවන් මගින් දැනට සුනඛ එන්නත්කරණ කටයුතු සිදුකරන අතර, සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම වැඩසටහන දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ 362ක ක්‍රියාත්මක වන බවයි.
දැනට ශ්‍රී ලංකාවේ සුනඛ එන්නත්කරණ ආවරණය සියයට 60ක් පමණ වන අතර, ජලභීතිකා මර්දනය සඳහා අවශ්‍ය ඉලක්කගත ආවරණ මට්ටම සියයට 70ක් බවද එම සංගමය පෙන්වා දෙයි.
2017 වසරේදී සුනඛ එන්නත්කරණ වැඩසටහන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත පැවරීමෙන් අනතුරුව, එන්නත්කරණ ආවරණය වසරක් ඇතුළත සියයට 6ක් දක්වා පහත වැටුණු බවත්, පසුව වැඩසටහන යළි සෞඛ්‍ය බලධාරීන් වෙත පැවරීමට සිදුවූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
1970 දශකයේදී වසරකට පුද්ගල මරණ 350ක් පමණ වාර්තා වූ ජලභීතිකා රෝගයෙන් සිදුවන මරණ සංඛ්‍යාව පසුගිය වසර වන විට 14ක් දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.
එමෙන්ම, 2026 වසරේ මේ දක්වා ජලභීතිකා රෝගය හේතුවෙන් පුද්ගල මරණ 7ක් වාර්තා වී ඇති බවද එහි සඳහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය (WOAH) එක්ව සිදුකළ අධ්‍යයනයකින්ද සුනඛ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යාමට නිර්දේශ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ අතර, ජලභීතිකා රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන හෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන සුනඛයන් සම්බන්ධයෙන් යෝජිත නීති කෙටුම්පතේ ඇතුළත් ප්‍රතිපාදන පිළිබඳවද සංගමය අවධානය යොමු කර තිබේ.
මහජනතාවට තර්ජනයක් වන සතුන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් පොලිසියට දැනට පවතින බලතල යෝජිත නීති සංශෝධන මගින් අහෝසි වීමේ අවදානමක් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එබැවින් දැනට ක්‍රියාත්මක වන ජාතික සුනඛ එන්නත්කරණ වැඩසටහනට බාධාවක් නොවන පරිදි, පශු වෛද්‍යවරයකුගේ සෘජු අධීක්ෂණය අනිවාර්ය කරන යෝජිත වගන්තිය ඇතුළු අදාළ ප්‍රතිපාදන නැවත සමාලෝචනය කර අවශ්‍ය සංශෝධන සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.