රටේ ඕනෑ ම ප්‍රදේශයක අවම වශයෙන් වසර 03ක් සේවය කිරීමට සූදානම් වන්න..
අධ්‍යාපන ක්ෂේත්රයේ තනතුරු රැසක පවතින පුරප්පාඩු බොහෝ ප්‍රමාණයක් පිරවීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින අධ්‍යාපන පරිපාලන, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ, ගුරු උපදේශක යන සේවාවල හා ගුරු සේවයේ නව පත්වීම් රැසක් ඉතා ඉක්මනින් ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා ඊට අමතර ව අතිරික්ත නිලධාරීන් සිටින සේවා ස්ථානවලින් ස්ථාන මාරුවීම් ලබා දීම හරහා නිලධාරී හිඟය පියවීමට කටයුතු කරන බවයි ප්‍රකාශ කළේ.
මේ අනුව, උතුරු පළාතේ වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් සහ පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ඊයේ පැවති වැඩසටහනකට එක් වෙමින්, අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...
ඉදිරියේ දී ඉතා කෙටිකලක් තුළ අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් 460ක් පමණ බඳවා ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ද පැවසී ය.
එමෙන් ම නඩු කටයුතු නිසා 2019 වසරේ සිට යටපත් ව පැවති විදුහල්පති සේවයේ නව පත්වීම් 4,672ක් මේ වන විට ලබා දී ඇති බවත් එයින් 4,400ක් මේ වන විට වැඩ භාරගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළා.
තරුණ ජවයක් සහිත නව පත්වීම්ලාභීන් රටේ ඕනෑ ම ප්‍රදේශයක අවම වශයෙන් වසර තුනක් වත් සේවය කිරීමට සූදානම් විය යුතු බවත් මෙහි දී පැවසූ අමාත්‍යවරයා නව පත්වීම්ලාභීන්ගේ පත්වීම් භාරගැනීම සම්බන්ධ ගැටලු සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීම සඳහා සියලු පාර්ශ්ව සහභාගී වන දෙදින වැඩසටහනක් කොළඹ දී පවත්වන බවත් , එහි දී ගනු ලබන පොදු තීරණ අනුව විදුහල්පති සේවයේ ඉතිරි පත්වීම්ලාභීන්ට ද වැඩ භාරගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන අතර ම නිලධාරීන් අතිරික්ත ස්ථානවල සිට හිඟයක් පවතින ස්ථානවලට මාරු කර යවා නිලධාරී තුලනයක් සිදු කිරීමට ද පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා මෙහි දී පැවසුවේ, ගුරු අධ්‍යාපනඥ සේවයේ ද නව බඳවාගැනීම් 700ක් සිදු කරන අතර නව ගුරු උපදේශක පත්වීම් ලබා දෙන බවයි.
රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විදේශ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා 5,500ක පමණ නව ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවාගැනීමට අපේක්ෂා කරන බවත් පළාත් මට්ටමින් එම පත්වීම් දීමට අවශ්‍ය සියලු කටයුතු අවසන් කර ඇති බවත් ජාතික පාසල් සඳහා පමණක් විභාගයක් පවත්වා ඉදිරි සති කිහිපය තුළ එම බඳවාගැනීම් සිදු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.
මේ අවස්ථාවට සම්මානිත මහාචාර්ය සිවා සිවනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු ද එක් ව සිටියහ.