බුදුදහම ගැන සජිත්ගෙන් සැර ප්රකාශයක් - ආගම්වාදය ගැනත් කියයි
සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන අතරම සෑම ආගමකම අයිතිවාසිකම් වෙනුවෙන් ද සමගි ජන බලවේගය පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
කිසිදු අවස්ථාවක තම පක්ෂයේ ප්රතිපත්ති පාවා නොදෙන බව පැවසූ විපක්ෂ නායකවරයා, බුදුදහම හෝ සම්බුද්ධ ශාසනය දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ මෙවලමක් බවට පත් නොකළ යුතු බව ද අවධාරණය කළේය.
රත්මලාන කොතලාවලපුර සිරි විජිතාරාම විහාරස්ථානයේ ඉදිකිරීමට නියමිත අටවිසි බුද්ධ මන්දිරය සහ රන්වැට සහිත බෝධි ප්රාකාරය සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
විපක්ෂ නායකවරයාගේ මව වන හේමා ප්රේමදාස මහත්මියගේ 91 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේ රන්වැට සහිත බෝධි ප්රාකාරය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 14ක මුදලක් ද, අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 4ක මුදලක් ද පරිත්යාග කර තිබේ.
බුදුදහමට ප්රමුඛස්ථානය දෙන අතර සෙසු ආගම් ද ආරක්ෂා කළ යුතුයි
ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් බුදුදහමට ප්රමුඛස්ථානය ලබාදී ඇති බව පෙන්වා දුන් සජිත් ප්රේමදාස මහතා, බුදුසසුන ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම සහ ප්රවර්ධනය කිරීම පාලකයන්ගේ වගකීමක් බව පැවසීය. එමෙන්ම සෙසු ආගම්වලට සහ ජන කොට්ඨාසවලට ද ඔවුන්ට හිමි අයිතිවාසිකම් සහ ආරක්ෂාව ලබාදිය යුතු බවත්, ආගමික සහජීවනය හා සහෝදරත්වය ගොඩනැඟීම අත්යවශ්ය බවත් ඔහු සඳහන් කළේය.
“ආගම්වාදයට සහ ජාතිවාදයට ඉඩක් නැහැ”
කොරෝනා වසංගත සමයේ මුස්ලිම් ජනතාවගේ දේහ භූමදානය සම්බන්ධයෙන් මතු වූ ගැටලුවේදී මෙන්ම, කල්මුණේ රෝහලේ හෙදියන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් ඇති වූ සංස්කෘතික ගැටලුවේදී ද තම පක්ෂය පෙනී සිටි බව විපක්ෂ නායකවරයා පැවසීය. පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ද සමගි ජන බලවේගය පෙනී සිටි බව සඳහන් කළ ඔහු, සියලු දෙනාට සමානව සැලකීම තම පක්ෂයේ ප්රතිපත්තිය බව අවධාරණය කළේය.
චීවරයට ගරු කළ යුතුයි - තීරණ ගත යුත්තේ නීත්යනුකූල ක්රමවේදයට අනුවයි
භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ගිහියන්ට අත්තනෝමතිකව ක්රියා කළ නොහැකි බවත්, එවැනි කරුණු අදාළ නීතිමය හා අධිකරණ ක්රියාවලියට අනුව විසඳාගත යුතු බවත් සජිත් ප්රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය. හිටපු ජනාධිපති රණසිංහ ප්රේමදාස මහතාගේ පාලන සමයේ බුද්ධශාසන අමාත්යාංශය සහ බුද්ධශාසන අරමුදල ස්ථාපිත කිරීම ඇතුළු වැඩසටහන් මඟින් ආගමික ආයතන සහ දහම් අධ්යාපනය ශක්තිමත් කිරීමට කටයුතු කළ බව ද ඔහු සිහිපත් කළේය. බුද්ධශාසන අමාත්යාංශයට කැබිනට් අමාත්ය ධුරයක් ලබාදීමත්, සෙසු ආගම් සහ ජන කොට්ඨාස වෙනුවෙන් ද සුදුසු ආයතනික වැඩපිළිවෙළක් ඇති කිරීමත් තුළින් ආගමික සහජීවනය ශක්තිමත් කළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.