අගමැති තනතුර සරත් ෆොන්සේකා භාරගනී?..සම්පූර්ණ විස්තරය මෙන්න.

Gotabaya Rajapaksa Sarath Fonseka
By Aruna May 12, 2022 06:20 AM GMT
Report

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඊයේ (11) දහවල් කාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණගැසී තිබෙනවා.

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ දී දහවල් 12ට පමණ සිදු කෙරුණු මෙම හමුව පැය දෙක හමාරක් දක්වා දික් වූ දීර්ඝ සාකච්ඡාවක් වූ බව යි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම හමුවේ දී රටේ පවතින ආර්ථික දේශපාලන සහ විශේෂයෙන් ම ආරක්ෂක තත්ත්වයන් පිළිබඳ දෙදෙනා අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ බව යි වාර්තා වන්නේ.

එහි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය නායක, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හට අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

එහි දී ෆීල්ඩ් මාෂල්වරයා පවසා ඇත්තේ, තමා යම් හෙයකින් එම ධුරය භාරගන්නේ නම්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වීම හෝ ජනාධිපති ධුරයේ බලතල කපා හැරීමක් නියත වශයෙන් ම සිදු විය යුතු බව යි.

මෙහි දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, ජනාධිපතිවරයාට යෝජනා කර ඇත්තේ, දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධන සහිත ව නැවත බලාත්මක කර ජනාධිපති ධුරයේ කාලය නිමා වන තුරු කටයුතු කළ හැකි බව යි.

ජනාධිපතිවරයා බලයට පත් වන්නේ, හැට නව ලක්ෂයක් ජනතාවගේ ආශිර්වාදයෙන් බවත් එම ජනතා නියෝජනය මෙරට සමාජය තුළ පැවතිය යුතු බවත් ෆීල්ඩ් මාෂල්වරයා ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා.

අවසාන වශයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ, තමා අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නේ නම්, සමඟි ජන බලවේගය පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් වී නිර්පාක්ෂිකව කටයුතු කිරීමට සූදානම් බවයි.

එලෙස මේ රටට අවශ්‍ය කරන නව දේශපාලන සංස්කෘතියක මූලාරම්භය ලබා දීම සඳහා තමන් කැමැත්තෙන් පසු වන බව සඳහන් කරමින් ජනාධිපතිවරයා සමඟ පැවති දීර්ඝ සාකච්ඡාව නිමා කර ඔහු ජනාධිපති මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට සමීප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, ජනාධිපතිවරයා සමඟ පැවති එම ගසාකච්ඡාව හා සාධනීය හා යහපත් ප්‍රතිචාරයන්ගෙන් සමන්විත වූවක් බව යි.

මේ අතර, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය නායක සරත් ෆොන්සේකාගෙන් සිදු කළ ඉල්ලීම පිළිබඳ පළ වූ වාර්තා සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහි සම්පූර්ණ උපුටා ගැනීම පහතින් ''අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකිමි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කරමි.

සමස්ථ ශ්‍රීලාංකීය ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග මමත් කොන්දේසි විරහිතව සිටගනිමි.

ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිලිබදව අතිශයින් සංවේදී වෙමි.

ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කල මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ශලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි''


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now