සනත් නිෂාන්ත සහ මිලාන් ජයතිලක ගැන අධිකරණයේ දී හෙළිවූ දේ
සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන සැකකරුවන් දෙදෙනා පසුගිය 9 වනදා ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම යන අරගල වලට පහර දීමේ සිද්ධියට සක්‍රීයව දායක වී තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රියාස් බාරි මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
ගාලුමුවදොර සහ කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරය ඉදිරිපිට අරගලවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අද මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
එමෙන්ම ඊයේ දින මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල මහ නගර සභාවේ සේවකයාවද අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රියාස් බාරි "ස්වාමිනි, මෙම නඩුවේ 04 වන සැකකරු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන සනත් නිශාන්ත නැමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම පහරදීමට සක්‍රීයව දායකත්වය ලබා දී ඇති බවට ලහිරු වීරසේකර සහ තවත් දෙදෙනෙකු මේ වන විට සාක්ෂි ලබා දී තිබෙනවා.
ලහිරු වීරසේකරගේ ප්‍රකාශයේ සටහන් වෙනවා සනත් නිශාන්ත නැමැති මෙම සැකකරු " ගහපියව් " , " මරපියව් " වැනි වචනද භාවිතා කරමින් අරගල භූමියට පැමිණිලා පහරදීමට සක්‍රීය දායකත්වය ලබා දී ඇති බව" නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තවදුරටත් කරුණු දක්වමින් මෙසේ පැවසීය.
"ස්වාමිනි, මෙම නඩුවේ 05 වැනි සැකකරු ලෙස නම්කර සිටින මිලාන් ජයතිලක නැමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද මෙම පහරදීමට සක්‍රීයව දායකත්වය සැපයූ බවට ඇසින් දුටූ සාක්ෂි මේ වන විට සටහන් වී තිබෙනවා. ඉඳුනිල් සෙනරත් බණ්ඩාර නැමැත්තෙකු සාක්ෂි දී තිබෙනවා. පහරදීම සිදුවූ අවස්ථාවේ මිලාන් ජයතිලක නැමැති සැකකරු " ගහපාං, ඕකාව මරපං " කියා තමන් අසල සිටි පිරිසට පැවසූ බව. ඒ සමගම එම පිරිස තමන්ට තවදුරටත් පොලුවලින් පහරදුන් බව සාක්ෂිකරු තම ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා."
මෙහිදී සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා තම සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකළේය. "ස්වාමිනි, මෙම කලහාකාරි සිදුවීමට පෙර අරලියගහ මන්දීරයේ පැවති රැස්වීමේදි මගේ සේවාදායකයා කිසිදු අන්දමින් ආධාරකරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන කතාවක් සිදුකර නැහැ. ඔහු ඔය ගෝඨාගෝගම ගමට ගිහින් තියෙන්නේ පහරදීම සහ ප්‍රචණ්ඩකාරි හැසිරීම නවත්වන්න.
ඡායාරූප සහ වීඩියෝ දර්ශන තිබෙනවා ඔහු සහ පොලිස් නිලධාරියෙකු කථාකරන. එතනදී මගේ සේවාදායකයා පොලිස් නිලධාරියාගෙන් අහලා තියෙන්නේ මේක නවත්වන්න විදිහක් ගැන. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පොලිස් නිලධාරියාට යම් උපදෙස් දීමක් තමයි කරලා තියෙන්නේ ඒ ප්‍රචණ්ඩත්වය නවත්වන්න. ඔහුට විරුද්ධව සාක්ෂි දී තිබෙන ලහිරු වීරසේකර කියන්නේ පෙරටුගාමි සමාජවාදි පක්ෂයෙන් ඔය අරගලය මෙහෙයවන පුද්ගලයෙක්.
ඒ නිසා ඔහුගේ සාක්ෂිය ගැන කතාකරන්න මම කැමති නැහැ." එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රාසික් ෆරුක් මහතාද කියා සිටියේ තම සේවාදායකයා එම ස්ථානයට ගොස් ඇත්තේ ගැටුම වැළක්වීම පිණිස බවය. මෙහිදි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙසේ ප්‍රශ්න කළේය. "
මෙම සැකකරුවන් දෙදෙනාට විරුද්ධව අද දින අධිකරණයට ඉදිරිපත් කරන්නේ ඇසින් දිටූ සාක්ෂි පමණද..? ලහිරු වීරසේකර කියන්නෙත් කලහාකාරි සිදුවීම් සම්බන්ධයෙන් මෙම අධිකරණයේම නඩු පවතින්නෙක්. " ඊට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙසේ පිළිතුරු දුනි.
" ස්වාමිනි, මෙම සැකකරුවන් දෙදෙනා මෙම පහරදීමට සම්බන්ධ වූ බවට වීඩියෝ සාක්ෂි තිබෙනවා. මෙම සිදුවීමට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාදයක් තිබෙනවා යැයිද සමාජයේ මහජන කැළඹීමක් තිබෙනවා. එබැවින් මෙම සැකකරුවන්ට ඇප ලබාදීමක් සිදුවුවහොත් තවත් මහජන කැළඹීමක් ඇතිවිය හැකියි.
එබැවින් මෙම අවස්ථාවේ මොවුන්ට ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධයි. " ඉදිරිපත්වූ කරුණු සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරුවන් වෙනුවෙන් සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් මැයි මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් මධ්‍යම රාත්‍රි 12.15 පමණ වනතෙක් ප්‍රකාශ සටහන්කරගෙන තිබේ. ඒ අනුව ඔහුගෙන් ද පැය අටකට අධික කාලයක් ප්‍රකාශ සටහන්කරගත් බව පොලිසිය පැවසීය.
මේ අතර මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ සහ ඔහුගේ ආධාරකරුවෙකු වන සමීර චතුරංග, කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මංජුල ප්‍රසන්න යන අයවද අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඩෑන් ප්‍රියසාද් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවය.
එම සැකකරුවන් අටදෙනාහෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර සිදුවීම සම්බන්ධයෙන් අද දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන් ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ සටහන්කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |