නියෝජ්‍ය කතානායක යළිත් ඉල්ලා අස්වෙයි

By Sithumi May 06, 2022 02:03 PM GMT
Report

 ඊයේ තේරී පත් වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබෙනවා. ඊයේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමේදී ඔහුට පක්ෂව ඡන්ද 148ක් හිමිවුණා.

මීට පෙර ද නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කළ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව මීට සති දෙකකට පමණ පෙර ජනාධිපතිවරයාට දන්වා ලිපියක් යොමුකර තිබුණා. කෙසේවෙතත් ජනාධිපතිවරයා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගනු ලැබුවේ මීට දින 4කට පෙරයි.

ඉන් අනතුරුව ඊයේ දිනයේදී නැවතත් ඔහුගේ නම නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තුවේදී යෝජනා කෙරුණා. ඔහුගේ නම නියෝජ්‍ය කතානායක ධුරය සඳහා යෝජනා කිරීමත් සමගම ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය ජී එල් පීරිස් විසින් එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබෙන බව ප්‍රකාශකර සිටියා.

මෙහිදී විපක්ෂය විසින් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ඉමිතියාස් බාකීර් මාකර් ගේ නම යෝජනා කළ අතර රහස් ඡන්ද විමසීමක් සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. එහිදී රංජිත් සියඹලාපිටියට පක්ෂව ඡන්ද 148ක් ලැබී තිබූ අතර ඉමිතියාස් බාකීර් මාකර්ට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 65ක් පමණයි.