අභිනව අගමැති රනිල් මීට සුළු වෙලාවකට පෙර කරපු දේ මෙන්න.

United National Party Ranil Wickremesinghe Prime minister
By Aruna May 13, 2022 05:46 AM GMT
Report

ඊයේ සවස අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මීට ටික වේලාවකට පෙර අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ ආරම්භ කළා.

ඒ කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී.

රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් ශ්‍රී ලංකාවේ 26 වෙනි අග්‍රාමාත්‍යවරයායි.

රට තුළ පවතින බරපතල ආර්ථික අර්බුදයේ හේතුවෙන් කොළඹ ගාලුමුවදොර පිටියේ ආරම්භ කෙරුණු අරගලය ව්‍යාපාරයට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිතවාදීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග රට පුරා ඇවිලී ගිය ප්‍රචණ්ඩකාරී රැල්ල හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට සිදු වුණා.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස ආරාධනා කළ ද ඔහු විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් එම යෝජනාවට සුබවාදී ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සමගි ජන බලවේගයේ නියෝජ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග ද සාකච්ඡාවක් පැවැත්වූවා.

පැය දෙක හමාරකට අධික කාලයක් ගත වූ මෙම සාකච්ඡාව තුළ දී ඔහුට අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ආරාධනා කර තිබුණා.

කෙසේ වෙතත් එම යෝජනාවක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි පෙරේදා රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ සාකච්ඡාවකට කැඳවා තිබුණේ.

එහිදී රට තුල පවතින ආර්ථික සහ දේශපාලනික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ කතාබහක නිරත වූ ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ නායකයා එම සාකච්ඡාව හමාර කළේ අග්‍රාමාත්‍ය ධූරයේ වගකීම භාර ගැනීමට කැමැත්ත පළ කරමින්.

ඒ අනුව ඊයේ සවස 6.34 ට යෙදුණු සුබ මොහොතින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා.

ඔහු මෙරට අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් 6 වන අවස්ථාව මෙයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now