ප්‍රවේසම්වන්න..! රාජ්‍ය හා පුද්ගලික බැංකු 8කට අයත් ATM යන්ත්‍රවලින් මුදල් සොරාගත් දැවැන්ත ජාවාරම..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Money
By Sewvandhi Sep 11, 2022 02:29 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

රාජ්‍ය හා පුද්ගලික බැංකු 8කට අයත් ATM කුටි තුළ වරින්වර රැඳීසිට උපක්‍රමශීලිව පුද්ගලයින් රැසකගේ ATM කාඩ්පත් සොරාගෙන මුදල් වංචා කළ පුද්ගලයෙක් කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සොරාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 50කට අධික බව වාර්තා වෙයි. කඩුවෙල ප්‍රදේශයේ ATM කුටි තුළ රැඳී සිටින පුද්ගලයෙක් වංචනික ලෙස විවිධ පුද්ගලයින්ගේ ATM කාඩ්පත් සොරාගන්නා බවට කඩුවෙල පොලීසියට පැමිණිලි කිහිපයක් ලැබී තිබුණි.

ඒ අනුව, පොලීසිය අදාළ බැංකුවල CCTV දර්ශන උපයෝගි කරගනිමින් විමර්ශන ආරම්භ කළේය. එහිදී අනාවරණය වූයේ ATM යන්ත්‍රය අසලට පැමිණෙන එම පුද්ගලයා තමන්ගේ කාඩ්පත එම යන්ත්‍රය තුළ සිරවූ බව ඊළඟට එහි පැමිණෙන පුද්ගලයාට පවසා, බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංකය බලාගැනීමට අදාළ පුද්ගලයාගේ කාඩ් පත ලබාගෙන ඇති බවය. එහිදී සැකකරු එම කාඩ්පතේ සඳහන් අංකය දුරකථනයේ සටහන් කරගන්නා මුවාවෙන් ක්ෂණිකව ක්‍රියාත්මකවන අතර, සැකකරු ඊට සමාන වෙනත් කාඩ්පතක් එහි හිමිකරු වෙත ලබාදීමට කටයුතු කර තිබේ.

ඉන්පසු සැකකරු ඇමතුමක් ලබාගන්නා මුවාවෙන් අනෙක් පුද්ගලයාගේ කාඩ්පතේ රහස් අංකය නිරීක්ෂණය කර ඇති බව පොලීසිය පවසයි. එය ව්‍යාජ කාඩ්පතක් හේතුවෙන් මුදල් ලබාගැනීමට නොහැකිවීම නිසා එම පුද්ගලයා ඉන් පිටව යන අවස්ථාවේ සැකකරුද ත්‍රීරෝද රථයකින් ඉන් පිටව යයි. අනතුරුව සැකකරු සොරාගත් කාඩ්පත උපයෝගි කරගෙන වෙනත් ATM යන්ත්‍රයකින් එහි ඇති සියලු මුදල් ලබාගැනීමට කටයුතු කර තිබුණි. එලෙස බැංකු කිහිපයක සටහන්ව තිබූ CCTV දර්ශන උපයෝගි කරගෙන කඩුවෙල පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය පැවසුවේ ඔහු මල්වාන සහ සේදවත්ත ප්‍රදේශවල පදිංචිව සිටින මත්කුඩුවලට අධික ලෙස ඇබ්බැහි වූ 32 හැවිරිදි පුද්ගලයෙක් බවය.

එහිදී ඔහු සතුව තිබී රාජ්‍ය හා පෞද්ගලික බැංකු 8කට අයත් ATM කාඩ් පත් 30ක්ද සොයා ගැණුනි. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඔහු මාලබේ, බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයක අවස්ථා 40කදී පමණ එලෙස සොරාගෙන රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් එම කාඩ්පත් උපයෝගි කරගෙන වංචා කර ඇති බවය. සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. එමෙන්ම සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටු සඳහා ඉදිරිපත් කිරීමටද එහිදී අධිකරණය නියම කළේය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now