“රැකියා විරහිත සියලු උපාධිධාරීන් ගැන බලන්න” - නාමල්ගෙන් ජනපතිට ඉල්ලීමක්
රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට 2027 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලමන් මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමුකර තිබේ.
එම ලිපිය පහත පරිදි වෙයි.
2026.10.06
ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති සහ මුදල් අමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට 2027 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධව
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ජාතික ජන බලවේගයේ '' පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ප්‍රතිපත්ති ප්‍රකාශනයේ " කාර්යක්ෂම ශ්‍රම සම්පතක් - ගෞරවනීය වෘත්තීය ජීවිතයක් " යන පරිච්ජේදයේ, රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම පිළිබඳ ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කර ඇත.
එහි " රැකියා විරහිත උපාධිධාරීන් " යන කොටස යටතේ,
ගුරු සේවයට - 20,000ක්
IT ක්ෂේත්‍රයට - STEM උපාධිධාරීන් 3,000ක් සහ Non-STEM උපාධිධාරීන් 9,000 ක්
ආදායම් බදු, රේගු විදේශ සේවා හා සංචාරක ක්ෂේත්‍ර සඳහා - 3,000 ක් ලෙස රැකියා ලබාදීමට පොරොන්දු වී ඇත.
එබැවින්, එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව ක්‍රියාවට නැංවීම සඳහා දැනට රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරීන් සඳහා රැකියා අවස්ථා ලබාදීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් වෙන් කරන ලෙස ඉල්ලා සිටිමි. මෙවැනි උපාධිධාරී රැකියා වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවේ පූර්වාදර්ශ ද පවතී. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ,
2005 - උපාධිධාරී රැකියා ලබාදීමේ වැඩසටහන
2011 - සංවර්ධන නිලධාරී/ සංවර්ධන සහකාර සේවා සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහන
2012 - උපාධිධාරී පුහුණුකරුවන් ස්ථිර රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩසටහන වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණි.
එබැවින්, එම පූර්වාදර්ශ ද සැලකිල්ලට ගනිමින්, වත්මන් රැකියා විරහිත සියලු උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර, පැහැදිලි කාල සීමාවක් තුළ එම ප්‍රතිපත්ති පොරොන්දුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා සිටිමි.
ස්තූතියි.
නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ