ප්‍රසන්න රණතුංගට විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් විශේෂ ප්‍රකාශයක්..

Prasanna Ranatunga Hospitals in Sri Lanka
By krishani May 09, 2022 04:40 AM GMT
Report

මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංගට විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබෙන්නේ නම් ඒ පිළිබදව විමර්ශනයක් සිදුකළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ මේ දක්වා එවැනි පැමිණිල්ලක් වෛද්‍ය සභාව වෙත ලැබී නොමැති බවයි.

කෙසේවෙතත් වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ අදාළ සිද්ධිය පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැක්කේ එම වෛද්‍යවරයා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ අයෙක් නම් පමණක් බවයි.

යම් හෙයකින් එවැනි විමර්ශනයක දී අදාළ වෛද්‍යවරයා එලෙස ආචාර ධර්ම කඩ කරමින් ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව තහවුරු වුවහොත් වෛද්‍යවරයාගේ ලියාපදිංචිය අවලංගු කිරීමටත්, සේවය අත්හිටුවීමටත් හැකියාව පවතින බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රතිකාර ලබා ගැනීම සදහා පසුගිය දා කොළඹ පෞද්ගලික රෝහලකට ගිය අවස්ථාවේදී විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන විසින් අමාත්‍යවරයා පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණු අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට ලංකා හොස්පිටල්ස් පෞද්ගලික රෝහල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ රෝහලට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය වෛද්‍යවරයා සතු වන අතර, රෝහල විසින් කිසිදු රෝගියෙකු ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකරන බවයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join