පාර්ලිමේන්තුව උණුසුම් වෙයි..! අනුර අරුන්දික ගැටුයි..!
පුත්තලං දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, පසුගිය 9 වැනි දා මැති ඇමති මන්දිරවලට සිදු වූ හානිය පිටුපස ජනතා විමුක්ති පෙරමුණේ යම් මැදිහත් වීමක් ඇති බව යි
. ඒ සමඟ ම ඔහු 88/89 සමයේ සිදු වූ සිදුවීම් ද යළි මතක් කර දෙමින් සිය කතාව සිදු කරගෙන ගියා. ඊට පිළිතුරු ලබාදෙමින් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, 88/89 සිදුවීම්වලින් පසු ව සිය පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය ඉතා ම ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ගත් බව යි
. එසේ ම 9 වැනි දා සිදුවීම ජනතා විමුක්ති පෙරමුණු ගිණුමට බැර කිරීමට බොහෝ පිරිසක් උත්සාහ දරන බවත් ඔහු අවධාරණය කරමින් කියා සිටියා. ජනතා විමුක්ති පෙරමුණට විවිධ අවස්ථාවල දී විවිධ අර්බුදවලට මුහුණ පෑමට සිදු වුණත් එක ගල් කැටයක් හෝ අතට ගැනීමට අප උත්සාහ නො කළ බවත් ඔහු අවධාරණය කළා.
9 වැනි දා අරලිය ගහ මන්දිරයට රැගෙන ආ අය අතර මහියංගන ඔරලෝසු කණුව ළඟ සිටි මානසික අබාධයක් සහිත යාචකයකු පවා සිටි බව යි අනුර දිසානායක හෙළි කළේ. සාමකාමී උද්ඝෝෂණවලට පහර දෙන ලයිසන් චණ්ඩින්ගේ ක්‍රියාවලට නිසැකයෙන් ම තමා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වන බව ඔහු ප්‍රකාශ කළේ, මන්ත්‍රීකම යනු පහර දීමට ඇති ලයිසන් පත්‍රයක් නො වන බව ප්‍රකාශ කරමින්.
මත්පැන පානය කර කඩු පොලු මුගුරු රැගෙන පැමිණ ඉතා සාමකාමී අරගලයක නියුතු තරුණයන්ට පහර දීම අතිශය පිළිකුල් සහිත එකක් බවත් ඔහු අවධාරණය කරනවා.
මේ සමඟ ම යළි නැඟී සිටි අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, පොලිස්පති ප්‍රකාශ කරන පරිදි 9 වැනි දා සිදුවීමට අදාළ ව ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන් 150 දෙන්කු අත් අඩංගුවට ගත් බව යි.
ඊට පිළිතුරු ලබා දෙමින් අනුර දිසානායක යළි ප්‍රකාශ කළේ, එවැනි චෝදනාවක් ඇති නම්, වහාම ස්වාධීන පරීක්ෂණයක් කැඳවන ලෙසත් එවැනි පරීක්ෂණයකට තමා ඇතුළු පක්ෂය ඕනෑ ම මොහොතක නො බිය ව මුහුණ දීමට සූදානම් වන බව යි. අනුර දිසානායක කතාව හමාර කිරීමෙන් පසු මන්ත්‍රී රමේෂ් පතිරණ ප්‍රකාශ කළේ, අරලියගහ මන්දිරයේ ජනතාව කුපිත කිරීමට එක්තරා මුග්ධ දේශපාලඥයන් පිරිසක් මුල් වූ බව පිළිගන්නා බව යි
. සිය කතාවේ දී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ කතාව සහමුලින් තහවුරු කළ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ, මානව හිමිකම් කොමිසම හමුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිපති දේශබන්දු තෙන්නකෝන් සිදු කළ ප්‍රකාශය මෙම සිදුවීමේ යථාර්ථය බව යි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, බස්නාහිර පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තත්ත්වය පාලනය කිරීමට උත්සාහ දැරීමේ දී ඔහුට සෘජුව ම පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂාව අමාත්‍යාංශ ලේකම්වරයා එයට මැදිහත් නො වන ලෙසට උපදෙස් ලබා දුන් බව යි.
මෙහි දී මන්ත්‍රීවරයා සෘජුව ම ප්‍රකාශ කළේ, ගාලුමුවදොර සිද්ධිය දුරදිග යාම සඳහා මහජන ආරක්ෂාව භාර අමාත්‍යාංශ ලේකම්වරයාත් පොලිස්පතිවරයාත් සෘජුව ම වගකිව යුතු බවට යි. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණගේ නිවස සහ ඔහුගේ සහෝදරයාගේ නිවසට ද පසුගිය 10 වැනි දා එල්ල වූ ප්‍රහාර හමුවේ ගිනි ගෙන විනාශ වුණා.
මෙහි දී පාර්ලිමේන්තුව තුළ මහත් ආවේගයකින් කතා කළ වෛද්‍ය පතිරණ කියා සිටියේ, රට පුරා පුපුරා ගියේ, ගෑස් නැති තෙල් නැති පොහොර අර්බුදය සහ ඉහළ යන ජීවන වියදම හරහා මිනිසුන් තුළ ගොඩනැඟී කැකෑරෙමින් තිබූ පීඩනය බව යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |