පහර කෑමට ලක්වූ පුංචි දැරිය නිවසේදීම මියයයි..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Mar 08, 2023 11:30 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 අසනීප තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත නොකර සිටි හත් හැවිරිදි වියේ පසුවූ දැරියක් පානදුර හිරණ ප්‍රදේශයෙ දී අවාසනාවන්ත ලෙස නිවස තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇත. ගොළු දැරියක් වන දැරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ මව සහ මවගේ අනියම් සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අමානුෂික ලෙස පහරකෑම හේතුවෙන් දැරියගේ මරණය සිදුව ඇති බවට ඇතිවූ සැකය මතයි. සැකකාරිය සහ සැකකරු විසින් පහරකෑමට ලක්ව අසාධ්‍ය වූ දැරිය රෝහල්ගතකිරීමට පියවර ගෙන නොමැති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දැරියගේ පියා මීට වසර කිහිපයකට පෙර ඔවුන් අතහැර යාමත් සමඟ ඇයගේ මව යාචක වෘත්තියේ නියැලී සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අනතුරුව ඇය බණ්ඩාරගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ රැකියාවක නිරතවී ඇති අතර එහිදී අදාළ සැකකරු සමඟ සම්බන්ධතාවයක් ඇතිකරගෙන ඇත.

වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර සැකකාර අනියම් සැමියාගේ කැඳවීමකට අනුව මියගොස් ඇති දැරිය සමග සැකකාර කාන්තාව ඔහුගේ මවගේ නිවසට ගොස් ඇති බවය. එහිදී සැකකරු සහ සැකකාරිය විසින් දැරියට අමානුෂික ලෙස පහරදී ඇති බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා දැරියගේ මළ සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව සඳහන් වාර්තාව සහ සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේය. අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now