සිව්වන දිනටත් 5 හැවිරිදි දරුවා නළ ලිදේ - දරුවා බේරා ගැනීමේ දැවැන්ත මෙහෙයුමට මොකද වුනේ..?(VIDEO)
අඩි ගණනාවක් ගැඹුරු නල ළිඳකට වැටී සිර වූ දරුවෙකු බේරා ගැනීමට මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මෙම දරුවා ළිඳට වැටී අදට (05) දින 04ක් පමණ ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. දරුවා බේරා ගැනීමේ මෙම මෙහෙයුම මොරොක්කෝවේ රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය කරන බව ද සඳහන්.
5 හැවිරිදි 'රයන්' නමැති මෙම දරුවා මීටර් 32ක් අඩි 100ක් පමණ ගැඹුරු ළිඳට වැටී ඇත්තේ පසුගිය අඟහරුවාදායි. ඉතා ගැඹුරු මෙම ළිඳ පතුලට ආලෝකය ලැබීම ද දුර්වල තත්ත්වයක පැවතීම හමුවේ දරුවා බේරා ගැනීම වෙනුවෙන් ළිඳ ආසන්නයෙන් වෙනත් වළක් කැපීමට සහන කණ්ඩායම් කටයුතු කරමින් පවතින බව සඳහන්.
මොරොක්කෝ රජයේ මාධ්‍ය ප්‍රකාශක මුස්තාපා බයිතාස් ඊයේ (04) අවධාරණය කර තිබුණේ, දරුවා ඉක්මනින් බේරා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. තමන් ඇතුළු රජය මෙම කනගාටුදායක අවස්ථාවේ දරුවාගේ පවුලේ සාමාජිකයන් සමඟ සිටින අතර, හැකි ඉක්මනින් ඔහු තම පවුලේ අය සමග එක්වනු ඇතැයි දැඩිව විශ්වාස කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.
අසල්වැසි ඇල්ජීරියාව ඇතුළු උතුරු අප්‍රිකාව පුරා මෙම සිදුවීම පිළිබඳ තොරතුරු වාර්තාවීමත් සමග ඒ පිළිබඳ අන්තර්ජාලය හරහා සානුකම්පිත සටහන් රැසක් ප්‍රචාරය වීමට ද පටන්ගෙන තිබෙනවා. මොරොක්කෝවේ උතුරු පළාතේ Chefchaouen හි Bab Berred අසල ගම්මානයේ සිදු කරන මෙම කැණීම් ඉදිරි පැය කිහිපය තුළ මීටර් 32 (අඩි 105) දක්වා ළඟා වීමේ බලාපොරොත්තුවක් පවතිනවා.
මේවන විට කැණීම් කර ඇති ගැඹුර මීටර් 27 (අඩි 88) පමණ වනවා. දරුවා බේරාගත් පසු මූලික පරීක්ෂණ සහ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද එම ස්ථානයට ළඟා වී තිබෙනවා. ඔහු බේරා ගැනීමෙන් අනතුරුව අසල පිහිටි රෝහලකට රැගෙන යාමට පොලිස් හෙලිකොප්ටරයක් ද සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
දරුවා ළිඳට ඇද වැටී ඇත්තේ ඔහුගේ පියා එහි ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු කරමින් පවතින අවස්ථාවක බව සඳහන්. මෙම ළිඳේ විෂ්කම්භය සෙන්ටිමීටර 45 (අඟල් 18)ට වඩා අඩු බවයි ගලවා ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.
ළිඳ ආසන්නයේ පසෙහි ස්වභාවය හේතුවෙන් එහි සිදුර පුළුල් කිරීමට උත්සාහ කිරීම ඉතා භයානක වන අතර ඒ හේතුවෙනුයි එය වටා කැණීම් කිරීමට තීරණය කෙරුණේ. මොරොක්කෝ මාධ්‍ය ආයතන කිහිපයක විකාශන තුළ දරුවාගේ ඉරණම පිළිබඳ ප්‍රවෘත්තිවලට වැඩි ඉඩක් ලබා දී තිබුණා.
දරුවා බේරාගැනීමේ මෙහෙයුම් සිදුවන ස්ථානයට විශාල ජනතාවක් පැමිණ ඇති අතර, ප්‍රදේශයේ පවතින දුෂ්කර තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක වන ගලවාගැනීම් මෙහෙයුමට ද දැඩි පීඩනයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
2019 වසරේ මුල් භාගයේදී ද ස්පාඤ්ඤයේ සිදු වූ මෙවැනිම අනතුරකින් කුඩා දරුවෙක් මරණයට පත්වුණා. සෙන්ටිමීටර 25 (අඟල් 10) පළල සහ මීටර් 70 (අඩි 230)ට වඩා ගැඹුරු පාළු ළිඳකට වැටීමෙන් එලෙස මියගොස් තිබුණේ අවුරුදු 2ක දරුවෙක්.
එම දරුවාගේ සිරුර දින 13ක් පුරා පැවති සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමකින් පසුවයි සොයා ගනු ලැබුවේ. එමෙන්ම මෙවැනි පුවත් ඉන්දියාවෙන් ද බොහෝ විට වාර්තා වන්නේ වගා ළිං වැනි විශාල ආගාදවලට දරුවන් බිලිවීමෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |