ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්..!

By Sewvandhi May 07, 2022 03:15 PM GMT
Report

පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා (9) සිට සාමාන්‍ය සේවය යටතේ යළි ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් එක්දින සේවය තවදුරටත් ක්‍රියාත්මක නොවන බවයි ඔවුන් සඳහන් කළේ. සඳුදා දිනයේදී භාර ගැනීමට කටයුතු කරනු ලබන්නේ මැයි 5,6 සහ 9 යන දිනවලදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කර ගත් සහ මැයි 5 දින සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් භාර දීමට පැමිණ දෙපාර්තමේන්තුව වෙතින් අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් පමණයි.

එමෙන්ම මැයි 10 වන අඟහරුවාදා දින සිට ගමන් බලපත්‍ර අයදුම්පත් භාරදීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පැමිණීම අනිවාර්ය වනවා. වෙබ් අඩවිය වෙත පිවිස හෝ 0707101060 යන දුරකතන අංකය ඇමතීමෙන් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සිදු කළ හැකියි.

එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පරිගණක පද්ධතිය පිළිසකර කිරීමට දෙපාර්තමේන්තු තාක්ෂණික කාර්ය මණ්ඩලය මේවන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින අතර හැකි ඉක්මනින් එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කටයුතු යොදන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ ආගමන විගමන දෙපාර්තමේන්තුව කණගාටුව ප්‍රකාශකරන අතර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන අනෙකුත් සේවා ප්‍රාදේශීය කාර්යාල මගින් සිදු කරනු ලබන සේවා සහ ගුවන්තොටුපල ආගමන විගමන සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරනු ලබන බව ද දැනුම් දෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery