මගීන් 22ක් සමග අතුරුදන් වූ ගුවන් යානය කඩාවැටී ඇති බව හෙළිවෙයි..!
මගීන් 22ක් සමග අතුරුදන් වූ නේපාල ගුවන්යානය කඩා වැටී ඇතැයි හෙළිවී තිබෙනවා. එම යානය කොවංග් ගම්මාන ප්‍රදේශයේ ගංගාවක් අසලට කඩා වැටී ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ගුවන්යානයේ අනතුරට හේතුවක් මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.
පුද්ගලයන් 22ක් සමග අතුරුදන් වූ මෙම ගුවන්යානය සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබුණා. මුස්ටැංග් සහ පොකාරා අතර ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු සඳහා නේපාල රජය විසින් පෞද්ගලික හෙලිකොප්ටර් යානා දෙකක් ද යොදවා තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ ගුවන් යානය ලැම්චේ ගං මෝය අසලදී කඩා වැටී ඇති බවයි. නේපාල හමුදාව ගොඩබිම් සහ ගුවන් මාර්ගයෙන් එම ස්ථානය දෙසට මේවන විට ගමන් කරමින් සිටිනවා. යානයේ ගමන් කළ ඉන්දීය ජාතිකයන්ගේ නම් හෙළිවී ඇති අතර ඔවුන් එකම පවුලේ සාමාජිකයන් පිරිසක් බවටයි විශ්වාස කෙරෙන්නේ.
මෙම ගුවන්යානය ගමන් කළ ගුවන් කලාපය අවට භූමියේ නේපාල හමුදාව සහ පොලිසියේ විශේෂ කණ්ඩායම් කිහිපයක් ද සෝදිසි කටයුතු වෙනුවෙන් යොමුකර තිබෙනවා. මෙම යානය කද වැටී ඇතැයි අනාවරණය වීමට පෙර ජොම්සොම් ප්‍රදේශයේ ඝාසා නම් ගම්මානය ආශ්‍රිතව විශාල ශබ්දයක් ඇසුනු බවට ගුවන්තොටුපලට නිල නොලත් තොරතුරක් ද ලැබී තිබුණා.
පෞද්ගලික සමාගමක් විසින් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන මෙම ගුවන්යානය අතුරුදන්ව තිබුනේ විසි දෙදෙනෙකු සමග පොකාරා ප්‍රදේශයට ගමන් කරමින් සිටියදීයි. උදෑසන 9.55ට පොකාරා ගුවන්තොටුපලින් පිටත් වූ යානය පෙරවරු 10.15ට බටහිර කඳුකර ප්‍රදේශයක පිහිටි ගුවන්තොටුපලක් වන ජොම්සොම් ගුවන්තොටුපලට ගොඩබැස්වීමට නියමිතව තිබුණා.
කෙසේවෙතත් යානය ගුවන්ගත වී විනාඩි 15කින් පමණ එහි සබඳතා බිඳවැටුණු බවයි ගුවන්තොටුපල පාලක මැදිරි නිලධාරීන් ප්‍රකාශකර ඇත්තේ. අතුරුදන් වන විට ඉන්දීය ජාතිකයන් 4 දෙනෙක් ජර්මානු ජාතිකයන් දෙදෙනෙක් සහ නේපාල ජාතික මගීන් 13 දෙනෙකු එහි ගමන් කරමින් සිට තිබුණා. නේපාලයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද මෙම යානය අතුරුදන්වීම පිළිබඳ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එමගින් ප්‍රකාශකර ඇත්තේ අතුරුදන් වූ යානය සෙවීමේ කටයුතු සිදුකරන අතර මගීන්ගේ පවුල්වල සාමාජිකයන් සමග තම කාර්යාලය සබඳතා පවත්වා ගනිමින් සිටින බවයි. එමෙන්ම තානාපති කාර්යාලය හදිසි තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා. අතුරුදන් වූ යානය අයත් ගුවන් සමගම ප්‍රකාශ කරන්නේ තමන් සතුව පවතින්නේ නේපාලයේ පුළුල්ම සහ අභ්‍යන්තර ගුවන් ගමන් ජාලය තමන් සතු බවටයි.
නේපාලයේ වෙනත් කිසිදු ගුවන් සමාගමක් මෙම සමාගම තරම් කෙටි දුර සඳහා යානා ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම සිදු නොකරන අතර අඛණ්ඩව පියාසර කිරීම් සිදුවන්නේ ද නැහැ. එම සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ තම ගුවන්යානා ආහාර, ධාන්‍ය, ඖෂධ, සහන ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් රට අභ්‍යන්තරයට ප්‍රවාහනය කරන අතර බේරා ගැනීමේ කටයුතු සඳහා ද ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවයි.
ලොව උසම කඳුකර ප්‍රදේශ පිහිටා ඇති නේපාලය, දුෂ්කර කඳුකර ස්ථානවල පිහිටි ගුවන් තොටුපල, නිතර වෙනස් වන කාලගුණය හමුවේ ගුවන් අනතුරු රැසක් වාර්තා වනවා. ගුවන්යානාවලට ගොඩබැස්වීමට දුෂ්කරතම ගුවන්තොටුපල වන Tenzing-Hillary නොහොත් Lukla පිහිටා ඇත්තේ ද නේපාලයේ කඳුකර ප්‍රදේශකයි.
මෙවර අතුරුදන් වූ යානය අයත් සමාගමට අයත් යානයක් 2016 වසරේ දී, බටහිර මයග්ඩි දිස්ත්‍රික්කයේ දී කඩා වැටී 23 දෙනෙකු මිය ගියා. කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට අමතරව, චීන ජාතිකයෙකු සහ කුවේට් ජාතිකයෙකු ඇතුළු මගීන් 20 දෙනෙකු එම ගුවන් යානයේ ගමන්කර තිබුණා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |