නාමල් යළි රක්ෂිත බන්ධනාගාරයට

Namal Rajapaksa Law and Order Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 13, 2026 08:19 AM GMT
Report

එයාර්බස් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (13) නියෝග කළේය.

සැකකරු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබේ.

එමෙන්ම, සැකකරුට එරෙහිව වහාම අධිචෝදනා ගොනු කර ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.

මේ අතර, එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බව ද අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.