චමල් රාජපක්ෂගේ නිවෙසට ගිනි තැබූ පිරිසකට අධිකරණය දුන් නියෝගය..
හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ මාගම පිහිටි නිවසට ගිනි තැබූ පිරිසක් අද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එදින ප්‍රදේශය පුරා නිවාසවලට ගිනිතැබීම්, දේපල මංකොල්ලකෑම් සහ පහරදීම් සම්බන්ධව ලද පැමිණිලිවලට අදාළව තිස්සමහාරාම පොලීසිය සහ කිරින්ද පොලීසිය එක්ව පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දේපළවලට හානි කිරීමට යොදාගත් සෆාරි ජීප් රථයක්, කුඩා ලොරි රථයක් සහ යතුරුපැදි 07ක්ද පොලිස් භාරයට ගැනුණි.
චමල් රාජපක්ෂ මහතාගේ මාගම නිවසට ගිනි තැබීමෙන් අනතුරුව ඔහුට අයත් ගබඩාවක තිබී සොරාගත් වී මලු 300න් වී මලු 07ක්ද සොයා ගත් බවද පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවටගත් සැකකරුවන් අද තිස්සමහාරාම දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරු දස දෙනෙක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිටියහ මැයි 09 වැනිදා මැතිඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීමේ සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් රැසක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර ගිනිතැබීමේ සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයන් 19 දෙනකු ඊයේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගේ බණ්ඩාරවෙල පිහිටි නිවසට පහරදුන් බවට සැකපිට පුද්ගලයින් 05 දෙනෙකු බණ්ඩාරවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් බණ්ඩාරවෙල නගරය අවට පුද්ගලයින් බව පොලීසිය සඳහන් කළේය. මේ අතර නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පදනම් කාර්යාලයට පහරදීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දස දෙනෙක් අද නාවලපිටිය පොලීසියට භාර වී තිබුණි.
ඔවුන් අද නාවලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් පුද්ගලික ශරීර ඇප මත නිදහස් කෙරුණු අතර එම පිරිස වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් නීතීඥවරු 08 දෙනෙකු ඉදිරිපත් වී සිටියහා. පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතාගේ නිවසට සහ ඔහුට අයත් මුද්‍රණ ආයතනයකට ද කළහකාරී දින පිරිසක් පහරදී අලාභ හානි සිදු කර තිබුණි.
අත්අඩංගුවට ගත් ඊට සම්බන්ධ පුද්ගලයින් 09 දෙනෙකු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. ඒ අතර පිරිමි පුද්ගලයින් 06දෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙක් සිටී. ඔවුන් මැයි 24වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මේ අතර හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර නගරයේ පිහිටි කාර්යාලයට සිදුකළ ප්‍රහාරය අතරතුර එහි භාණ්ඩ සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු අද කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. කාර්යාලයේ තිබූ පෙට්ටගමක්, අල්මාරියක්, රාක්කයක්, විදුලි පංකා දෙකක්, ප්ලාස්ටික් පුටු සහ රැස්වීම් ශාලාවේ තිබූ යකඩ බට ඇතුළු වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් තිබුණි
. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනී සුදීමා චාන්දනී මහත්මියගේ නිවසට එදින කිසියම් පිරිසක් පහරදී අලාභ හානි සිදු කර තිබූ අතර ඒ මහත්මිය අද තම නිවස බැලීමට පැමිණියහ. එසේම අරලිය ගහ මැදුරේ හමුවට නොගිය බව කියන මහර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සිරිනිමල් එදිරිසිංහ මහතාගේ එඩේරමුල්ල ගොන්ගිතොට පිහිටි තම නිවසටද පිරිසක් පහර දී හානිකර තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |