බිහිසුණු ඝාතන මෙහෙයුමක් භයානක ලෙස ගිලිහුණු කතාව මෙන්න

srilanka Murder crime panadura
By Sithumi Jan 27, 2022 12:23 PM GMT
Report

පෞද්ගලික රෝහලක සිට පානදුර මූලික රෝහලට ගිලන් වූ කාන්තාවක් රැගෙන ආ ගිලන් රථයේ රියැදුරාට කිසියම් පිරිසක් විසින් වෙඩි තැබිීමට ගත් උත්සාහයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා

. පානදුර පොලීසිය සඳහන් කරන්නේ මෙම සිද්ධිය ඊයේ (26) දහවල් 11.45 ට පමණ සිදු වූවක් බවයි. කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමේ උත්සාහයෙන් කිසිවකුටත් හානියක් සිදු වී නැත්තේ අදාළ වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

අදාළ ගිලන් රථය පානදුර මූලික රෝහලේ ගේට්ටුවෙන් ඇතුළු වනවාත් සමගම යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් එම ගිලන් රථය හරස්කර රියදුරාට වෙඩි තැබීමට උත්සාහ දරා ඇති බවටයි මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. අනෙක් යතුරුපැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා ගිනි අවි අත දරා රියදුරාට වෙඩි තැබීමට උත්සාහ කළ පුද්ගලයාට ආරක්ෂාව සපයා තිබෙනවා.

ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඉන් ගිලිහුණු උණ්ඩයක් ගිලන් රථයේ ඉදිරිපස රියැදුරු අසුන අසල වැටී තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක සිදුවීමක් හා සමාන වූ මෙම සිද්ධියත් සමග පානදුර රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සහ රෝගීන් බැලීම සඳහා පැමිණ සිටි පිරිස් හිස් ලූ ලූ අත දිව ගිය බවයි වාර්තා වන්නේ. අදාළ සැකකරුවන් රියදුරාට පිස්තෝලය එල්ල කර වෙඩි පහර දෙකක් එල්ල කළ ද ගිනි අවිය ක්‍රියාත්මක වී නැහැ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ රියදුරා උතුරු කළුතර තොටුපළ පාරේ පදිංචිකරුවකු බවයි වාර්තා වන්නේ. මෙම වෙඩි තැබීමට හේතුව ලෙස පසුගිය වසරේ පෙබරවාරි මස 28 වන දින වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් හොරණ දික්හේනපුර ප්‍රදේශයේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධ බවට සැක කෙරෙනවා. එම වැටලීමේදී වලාන දූෂණ මර්දන ඒකකය මගින් රුපියල් කෝටි හතළිස් දෙකක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් හතලිස් දෙකක් සොයා ගනු ලැබුවා.

එම හෙරොයින් ප්‍රවාහනය සඳහා භාවිත කර තිබුණේ ගිලන් රථයක්. කෙසේ වෙතත් එම සම්බන්ධය තවමත් තහවුරු කර ගෙන නැති බවයි උසස් පොලිස් නිලධාරියකු පවසා සිටියේ. සිද්ධිය වූ ස්ථානය අවට ප්‍රදේශය පානදුර අපරාධ සිදුවීම් ස්ථානීය පරීක්ෂණ කණ්ඩායම් පැමිණ දැඩි පරීක්ෂාවකට ලක් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now