පෙම්වතියට කරාබු දෙකක් අරන් දෙන්න තරුණයෙකු සිදු කළ දේ...

Srilanka covid 19
By Sithumi Mar 11, 2022 11:17 AM GMT
Report

සිය පෙම්වතියට රන් කරාබු යුගළක් තෑගිකර ඇයව පුදුම කිරීමට උත්සාහ කළ තරුණයෙක් ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී තිබේ. අද (11) පෙරවරුවේ 23 හැවිරිදි අදාළ තරුණයා හොරණ නගරය වෙත පැමිණ සිය පෙම්වතියට රන් කරාබු යුගළක් මිලදී ගැනීම සඳහා වෙළෙඳසැළක් වෙත ගොස් තිබේ.

එහිදී රන් කරාබු යුගළ 20කින් යුත් ස්වර්ණාභරණ පෙට්ටියක් වෙළෙඳසැළේ හිමිකරු විසින් අදාළ තරුණයාට පෙන්වා ඇති අතර එකවරම ඔහු එය රැගෙන පළාගොස් ඇත. අදාළ තරුණයා හොරණ නගරය මැදින් දිව යද්දී අසල සිටි තවත් තරුණයින් පිරිසක් ඔහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරත් සමග ක්ෂණිකව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබූ අතර ඒ වනවිටත් සැකකාර තරුණයාව පිරිසක් විසින් අල්ලාගෙන දණගස්වා තිබූ බව පොලීසිය පැවසීය. ඒ අනුව පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර තරුණයා විසින් රැගෙන ගොස් තිබූ රන් ආභරණ පෙට්ටියේ රුපියල් ලක්ෂ 5ක් වටිනා කරාබු යුගළ 20ක් තිබී ඇත. 

 නමුත් සැකකරු අල්ලාගත් අවස්ථාවේදී ඉන් කරාබු යුගළ දෙකක කරාබු එක බැගින් අඩුවී තිබූ බව පොලීසිය පවසයි. පොලීසිය සැක කරන්නේ සැකකරු දිවයන අවස්ථාවේදී එම කරාබු වැටෙන්නට ඇති බවය. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී රාජගිරියේ සිටින පෙම්වතියට කරාබු යුගළක් තෑගි කිරීම සඳහා මිලදී ගැනීමට වෙළෙඳසැළට පැමිණි බව පවසා තිබේ

. කෙසේවෙතත් පොලීසිය සැක කරන්නේ සැකකරු අනුකම්පාව දිනා ගැනීමේ අරමුණින් එසේ පවසන්නට ඇති බවය. සැකකරු ට විරුද්ධව මීට පෙර සොරකම් සහ කොල්ලකෑම් වාර්තාවී නොමැති බවද පොලීසිය පවසයි. කෙසේවෙතත් ගංජා ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අයෙක් බව අනාවරණය වී තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now