මහින්දානන්ද අලුත්ගමගේ පහර දුන්නා යැයි පුද්ගලයෙකු රෝහලට

Nihal Talduwa Mahindananda Aluthgamage Sri Lanka Politician Sri Lanka
By Sewvandhi Apr 30, 2022 04:21 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ තමාට පහර දුන් බව පවසමින් පුද්ගලයෙකු අද රෝහල් ගත වී තිබෙනවා. ඔහු වැටකේදෙණිය සමගි ජනබලවේග කොට්ඨාශ නායක චන්දන ශාන්ත කුමාර නමැත්තෙකු බවයි වාර්තාකරු සඳහන් කළේ.

නාවලපිටිය ආසනයේ වැටකේදෙණිය ප්‍රදේශයේ මිරිස් පැළ බෙදාදීමේ වැඩසටහනකට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ සම්බන්ධ වී පැමිණෙමින් සිටින අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෙලෙස පහරදුන් බවටයි ඔහු චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, සිද්ධියට මුහුණපෑමට සිදුව ඇත්තේ තම ලේකම්වරයෙකුට බවයි. තමා ගමන් කළ රථයට පිටුපසින් පැමිණි රථයක් මෙම සිද්ධියට මැදිවී ඇති බවත්, තමා එවැනි පහරදීමක් සිදුනොකළ බව ඔහු කියා සිටියා.

එසේම, තම රථය ගමන්ගත් මාර්ගය අවහිර කරමින් අදාළ පුද්ගලයා තමන්ට පහරදීමක් සිදු කළ බවට ගම්පොල නව කුරුඳුවත්ත පොලිසියට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ ලේකම්වරයා විසින් පැමිණිල්ලක්ද සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයා එම අවස්ථාවේදී බීමතින් සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූවගෙන් සදහන් කලේ.

මේ අතර, මඩකලපුව - වාකරේ - පච්චවෙට්ටා ප්‍රදේශයේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ අභිජනන මධ්‍යස්ථානය හේතුවෙන් තම වගාවන්ට හානි සිදුවන බව පවසමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now