අගමැති මහින්ද අද ඉවත් නොවුනොත් වෙන දේ මෙන්න.

Ali Sabry Gotabaya Rajapaksa Karu Jayasuriya Mahinda Rajapaksa Sri Lanka Politician
By Aruna May 09, 2022 03:19 AM GMT
Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් විවිධ පාර්ශව මේ වනවිටත් යෝජනා කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී ඒ වෙනුවට හිටපු කථානායක කරූ ජයසුරිය මහතා පත් කර අග්‍රමාත්‍ය ධුරය ලබාදිය යුතු බවටද එක් පාර්ශවයක් යෝජනා කර තිබෙනවා.

තවත් පිරිසක් යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු බවයි.

අමාත්‍ය රමේෂ් පතිරණගේ නම ද නව අග්‍රාමාත්‍ය ධුරය සදහා යෝජනා වී ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව සුසිල් ප්‍රේමජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපාගේද නම් තවත් පාර්ශව කිහිපයක් අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කර ඇති බව දේශපාලන ආරංචි පැවසුවා.

මේ අතර අන්තර්වාර ආණ්ඩුව සදහා විසි දෙනෙකුට නොවැඩි අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවටද යෝජනා වී තිබෙනවා.

එහෙත් ඇතැම් පාර්ශව යෝජනා කර ඇත්තේ වැදගත් වනුයේ පත් කරන අමාත්‍යවරුන් ගණන නොව විද්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ විෂයන් වෙන්කර ඊට අමාත්‍යවරුන් පත් කළ යුතු බවයි.

මේ වනවිට පත් කළ යුතු අමාත්‍යවරුන් සම්බන්ධයෙන්ද සාකච්ඡා වෙමින් ඇති බවයි වාර්තා වුණේ.

එවන් පසුබිමක් තුළ අද දිනයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට සූදානම් වනවා.

ඒ, අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලා සිටීමට බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ ඉවත් නොවන්නේ නම් අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් වනවා.

ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ නාලක ගොඩහේවා එලෙස අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now