හිටපු අගමැති ඇතුළු විශේෂ පිරිසක් වහාම අත්අඩංගුවට ගන්න..! නීතිඥවරුන්ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්..!

Gotabaya Rajapaksa Johnston Fernando Mahinda Rajapaksa Sri Lanka Economic Crisis
By Sewvandhi May 11, 2022 11:41 AM GMT
Report

කොළඹ ගාලු මුවදොර පිටියේ මාසයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කළ අරගලය විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැරයන් විසින් එල්ල කළ ප්‍රහාරයට අදාළව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සනත් නිශාන්ත සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා නීතීඥයින් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කමල් විජේසිරි, තුසිත ගුණසේකර, රාජිත ලක්මාල් ඇතුළු නීතීඥයින් පිරිස මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේ දණ්ඩ නීති සංග්‍රහයේ 486 හා 102 වගන්තියේ සඳහන් පරිදි සාපරාධී බිය ගැන්වීම්, මැර පිරිසට අනුබල දීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එමෙන්ම තම බලතල ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 37 සහ 38 වගන්ති යටතේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම බන්ධනාගාර රැඳවියන් මෙම ප්‍රහාරයට එක් කර බන්ධනාගාර ආඥා පනත උල්ලංඝනය කර ඒ සඳහා අනුබල දුන් බන්ධනාගාරයේ සියලුම නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට ද නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටත් ඔවුන් මෙම පැමිණිල්ල හරහා ඉල්ලා තිබෙනවා.

මෙම පැමිණිල්ලේ පිටපතක් අද (11) නීතිපති සංජේ රාජරත්නම් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, නඩුව සම්බන්ධයෙන් නීතිඥවරුන් අධිකරණයට ද කරුණු දැක්වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN Now