පසමිතුරුකම් අමතක කර සහාය දුන්නාට ස්තුතියි ! - අගමැතිගෙන් ස්ටාර්ලින්ට තුති..

Mahinda Rajapaksa Sri Lankan protests Sri Lanka Economic Crisis Sri Lankan Peoples
By Sewvandhi May 07, 2022 11:49 AM GMT
Report

පසමිතුරුකම් අමතක කර ලංකාවේ සමස්ත ජනතාවට ආධාර එවන තමිල්නාඩුවට අගමැති මහින්ද රාජපක්ෂ විසින් සිය ස්තුතිය පළ කර තිබෙනවා.

එම ප්‍රාන්තයේ මහ ඇමති එම්.කේ. ස්ටාර්ලින් ප්‍රමුඛ තමිල්නාඩු ආණ්ඩුව ඊයේ (05) දින නිවේදනය කළේ සිය පාලක ඩී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තම මාසික වැටුප ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සහන සැලසීම වෙනුවෙන් මහ ඇමති අරමුදලට බැර කර ඇති බවයි.

මෙම උපකාරය වෙනුවෙනුයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ තුති පිදීම සිදු ව ඇත්තේ. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය සහ ඩී.එම්.කේ. සභාපති ස්ටාලින් විසින් ශ්‍රී ලාංකිකයන්ට ආධාර කිරීම සඳහා පරිත්‍යාග ලබාදෙන ලෙස කරන ලද ආයාචනයකින් පසුවයි පක්ෂ මන්ත්‍රීවරු මෙම තීරණයට එළැඹුණේ.

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ දැඩි බලපෑම සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට ආහාර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගෙන ශ්‍රී ලංකාවට යැවීමට ප්‍රාන්ත රජයට පරිත්‍යාග ලබාදෙන ලෙසට පසුගිය අඟහරුවාදා , තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට තමිල්නාඩු පරිපාලනයට අවසර දෙන ලෙස ඉල්ලමින් මධ්‍යම රජයෙන් පසුගිය සිකුරාදා ප්‍රාන්ත මහ ඇමති ස්ටාලින් විසින් යෝජනාවක් රාජ්‍ය සභාවට ඉදිරිපත් කළා.

එම යෝජනාවට පක්ෂ සීමාවන් ඉක්මවා අනුකම්පාවෙන් හා ඒකමතිකව සහාය දක්වන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ. මෙම යෝජනාවට අනුව, සහල් සහ වෙනත් ධාන්‍ය, කිරි නිෂ්පාදන සහ ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ශ්‍රී ලංකාවේ ජනතාවට ලබාදීමට ඉඩදෙන ලෙස ඩී.එම්.කේ. රජය ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා තිබුණා.

මීට පෙර නවදිල්ලියේ සංචාරයක යෙදුණු මහ ඇමති අගමැති නරේන්ද්‍ර මෝදි හමු වී, දිවයිනේ පවතින අර්බුදය හමුවේ ශ්‍රී ලාංකික ජනතාවට මානුෂීය ආධාර සැපයීමට ප්‍රාන්ත රජයට මධ්‍යම රජයේ අනුමැතිය බලාපොරොත්තු වන බවට දැනුම් දී තිබුණා.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් තමිල්නාඩු ප්‍රධාන ලේකම්වරයාට ඊයේ දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා රජයට මානුෂීය සහයෝගය ලබාදීම සඳහා විවෘත බවයි.

ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට ආධාර යැවීමට තමිල්නාඩු රජය කළ යෝජනාව මධ්‍යම රජය පිළිගත් බව ද එහිදී පවසා තිබෙනවා. ‍තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් ප්‍රාන්ත රජයේ ඉල්ලීම පිළිගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ස්තුතිය පුද කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now