පුංචි මල්කැකුළට සිදුවූ අවාසනාවන්ත ඉරණම..(PHOTOS)

Sri Lanka Death
By Aruna Oct 14, 2022 01:10 AM GMT
Report

අවුරුද්දයි මාස තුනක් වයසැති බිළිඳියක් පසුගිය 10 දා සවස මිණිපේ ඇළට වැටී මියගොස් ඇති බවට හසලක පොලිසිය පවසයි.

සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙද්දී මරණය පිළිබඳ සැකයක් පවතින බවට ඥාතීන් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ හසලක, උල්පතගම, ගුරු ගම්මානයේ පදිංචි කේ. ජී. තුෂාර සුජිවන්ත සහ ආර්. ජී. කල්‍යාණවතී යන මව්පියන් දෙපළගේ අවුරුද්දයි මාස තුනක වයසේ පසු වූ බාල දියණිය වන කේ. ජී. ඕනදි හිරණ්‍ය ප්‍රේමරත්න යන බිළිඳියයි.

ඉකුත්දා සවස මව ආහාරයට අවශ්‍ය මැල්ලුමක් සොයා ගැනීම සඳහා අසල්වැසි කාන්තාවක් සමග ගොස් ඇත.

මේ අවස්ථාවේ එම අසල්වැසි නිවසට මියගිය දියණිය සහ ඇගේ වැඩිමහල් සොහොයුරා සෙල්ලම් කිරීම සඳහා ගොස් ඇත.

බිළිඳිය මිණිපේ ඇළට ගියාද? දැම්මාද?

එම නිවසේ දරුවන් දෙදෙනා සමඟ මෙම දරුවන් ද සෙල්ලම් කරමින් සිට ඇත. එම නිවසේ වැඩිමහල් දරුවාද මියගිය දියණියගේ වැඩිමහල් සහෝදරයාද රූපවාහිනිය නරඹමින් සිටි අතර මියගිය දැරියත් සෙල්ලම් කරන ගෙදර නිවසේ බාල දියණියත් මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇත.

අසල්වැසි නිවසේ සිටින දරුවන් පිළිබඳ පියාද විමසිල්ලෙන් සිට ඇත.

එහෙත් ටික වේලාවකින් මියගිය දැරියගේ වැඩිමහල් සොහොයුරා තම පියාට දන්වා ඇත්තේ නංගි මිදුලේ නැති බවයි. ඒ වන විට පියා ගෙදර උයමින් සිට ඇත.

පසුව පියා නිවස අවට සෝදිසි කළත් දරුවා නොසිටි අතර අසල්වැසියන් සමග අවට ප්‍රදේශයම පරීක්ෂා කර දිය නාන ස්ථානයද පරීක්ෂා කළත් දරුවා සොයා ගැනීමට නොහැකි වූ බව පියා පවසා සිටී.

ඉන් ටික වේලාවකට පසු පාරේ සිටින කිහිපදෙනකු දැක ඇත්තේ දරුවා සෙවූ නාන තොටුපළේ යමක් පාවෙන බවයි.

පසුව ඔවුන් ජලයට බැස බැලීමේදී ඔවුන්ට දැකගත හැකි වී ඇත්තේ එම අතුරුදන් වූ දරුවා බවයි.

පසුව හසලක රෝහලට දරුවා ඇතුළු කළත් ඒ වන විටත් ඇය මියගොස් සිට ඇත.

ඉකුත් 11 දා ස්ථානීය පරීක්ෂණය සඳහා මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් එස්. ගෝවින්ද මහතා පැමිණි අතර මෙහිදී රැස්ව සිටි පිරිසගෙන් මේ පිළිබඳව සැකයක් ඇත්දැයි විමසා සිටි අතර මියගිය දැරියගේ මාමා කෙනකු මහෙස්ත්‍රාත්වරයා ඉදිරිපිට පවසා සිටියේ මෙම මරණය සැක සහිත බවයි.

ඊට හේතු වශයෙන් ඔහු දක්වා සිටියේ, මේ කුඩා දැරියට කෙටි වේලාවක් තුළ එම ස්ථානයට කොහෙත්ම ළඟාවිය නොහැකි බවයි.

එමනිසා මෙම මරණය සැක සහිත මරණයක් බව පවසා සිටි අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා දේහය මහියංගණ මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකරන ලෙසට නියෝග කරන ලදී.

ඉදිරි පරීක්ෂණ කටයුතු හසලක පොලිසිය විසින් සිදු කරගෙන යනු ලැබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery