ඉවත දමන බඳුනක නිවසේදීම බිම්මල් වවමු.
කල් ඉකුත් වෙච්ච, නරක් වෙච්ච බිම්මල් මේ දවස් වල කඩෙන් ගන්නේ නැතුව ගෙදරම හදාගත්තොත් හොඳයි නේද? මේ කියන්න යන්නේ වාණිජ බිම්මල් වගාවක් ගැන නම් නෙවෙයි. එදිනෙදා ඔබේ පරිභෝජනයට ගන්න ඉවත දමන බඳුනක කොහොමද බිම්මල් වගාවක් කරන්නේ කියලා. 🍄
අවශ්‍ය ද්‍රව්‍ය
* බිම්මල් බීජ
* කැබලි කරගත් පිදුරු හෝ ලී කුඩු
* ජලය
* අහක දමන උස භාජනයක්/බාල්දියක්
- බිම්මල් බීජ හිටෝගන්න රෝපණ මාධ්‍ය ජීවාණුහරණය කරගන්න ඕන.
ඒකට හේතුව ඔයාල ගන්න ලී කුඩු වල පිදුරු වල අහිතකර දිලීර බීජාණු තැන්පත් වෙලා තිබිලා විෂ බිම්මල් පිපෙන්න පුළුවන්.රෝගකාරක වෛරස ,බැක්ටීරියා,දිලීර වර්ග තිබ්බොත් බිම්මල් වගාවත් විනාශ වෙන්න පුළුවන්. ඔබ ලෙඩ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ ගන්න ලීකුඩු හෝ පිදුරු ලොකු මුට්ටියකට දාල පැය 2-3 ක් තම්බ ගන්න.
- ඊට පස්සේ දිය බේරෙන්න තියලා වේලගත්තම ඔයාගේ රෝපණ මාධ්‍යත් සූදානම්.
- බිම්මල් හිටවන්න ගන්න භාජනය අරගෙන ඒකෙ පුරාම 1/2 cm වගේ සිදුරු විදගන්න.භාජනය හොඳින් පිරිසිදු කරලා බිම්මල් හිටවන්න සූදානම් කරගන්නව වගේම ඔයාලගෙ අත්දෙකත් හොඳට පිරිසිදු කරගන්න.
- දැන් භාජනයේ අඩියටම ලී කුඩු/කැබලි කරගත් පිදුරු ස්තරයක් දාන්න.
- ඒකට උඩින් බිම්මල් බීජ ස්තරයක් දාන්න. - නැවතත් ලී කුඩු/කැබලි කරගත් පිදුරු ස්තරයක් දාන්න.
- ආයේම ඊට උඩින් බිම්මල් බීජ ස්තරයක් දාන්න.මේ විදිහට ලී කුඩු/පිදුරු සහ බිම්මල් බීජ ස්තර මාරුවෙන් මාරුවට භාජනයේ කට ලඟට අඟල් 2ක් වගේ ආසන්න වෙනකම් පුරෝලා ලී කුඩු/පිදුරු ස්තරයකින් අවසන් කරන්න.
- ඊළඟට මේ බිම්මල් බඳුන්වලින් රෝපණ මාධ්‍ය හෝ බීජ සේදී නොයන පරිදි හොඳින් වතුර ඉසින්න.
- පසුව ඔබේ ගෙදර කෘමි සතුන් නැති හිරුඑළිය නොවැටෙන අඳුරු ස්ථානයක මේ හදාගත්තු බිම්මල් භාජන ටික තියන්න. අමතක නොකර දවසක් ඇර දවසක් වගේ මේ බඳුන් වලට වතුර ස්ප්‍රේ කරන්න.
- සතියක් වගේ යනකොට ඕගොල්ලන්ට පෙනේවි මුළු භාජනේම සුදු පාටට හැරිලා පුස් කාල වගේ. එහෙමනම් වැඩේ සාර්ථකයි.
- එතැන ඉඳන් තව සතියක් දෙකක් යනකොට බිම්මල් පිපෙන්න පටන්ගනීවී. හරියටම බිම්මල් බීජ හිටවලා සති 4න් අස්වැන්න නෙලන්න පුළුවන්.