නීතිඥවරු පොලිසියේ පෙනී සිටීමේ රීති මොනවද?

Law and Society Trust Sri Lanka
By Wayomi May 16, 2022 08:20 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ දවස්වල ලංකාවේ නීතිඥවරු හැමදාම වගේ පොලිසියෙනේ. ඇත්තටම එහෙම ආවට ගියාට නීතිඥවරුන්ට පොලිසියට යන්න පුළුවන්ද? මේ හොයලා බලන්න හදන්නේ නීතිඥවරු පොලිසියේ පෙනී සිටීමේ රීති ගැනයි.

මේ සම්බන්ධයෙන් අංක 1758/36 සහ 2012/05/18 දින අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. මෙම රීතීන් පොලිස් ආඥා පනතේ 55 වගන්‍තිය ප්‍රකාරව අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව පොලිස්පතිවරයා විසින් කරලයි සකස් කරලා තියෙනවා. ඒ අනුව එම රීතින් ලංකාවේ පිහිටුවා ඇති සෑම පොලිස්ථානයකටම අදාල වෙනවා. ඒ වගේම පොලිස් සේවයේ කුමන නිලයකට අයත් වුවද, සෑම නිලධාරියෙකු විසින්ම ඒවා පිළිපැදිය යුතුමයි.   

- තම සේවාදායකයකුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා නියෝජනය පිණිස ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පිහිටි පොලිස්ථානයකට පැමිණෙන නීතිඥවරයෙකුට අදාල පොලිස්ථානයේ සේවය කරන කවර නිලයකට අයත් නිලධාරීන් වුවද සුහදව ,ආචාරශීලීව සළකනු ලැබිය යුතු අතර අදාල නීතිඥවරයාට සාධාරණ සහ ඉවසිලිවන්ත ලෙස සවන් දිය යුතුයි.

- එවැනි අවස්ථාවක අදාළ නීතිඥවරයාට ආචාරශීලී නොවන අයුරින් ඇමතීම, ශාරිරික පීඩා සිදු කිරීම හෝ වෙනත් කිසියම් හෝ ආකාරයකින් තර්ජනය කිරීම නොකළ යුතුයි.

- එහිදි තමා නීතිඥවරයෙකු බව දැක්වීම අවශ්‍ය වුවහොත් ඉදිරිපත් කිරීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංඟමය විසින් නිකුත් කර ඇති හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත රැගෙන යා යුතුයි.

- යම් සැකකරුවෙකු පොලිස් ස්ථානයට භාර දීමට යම් නීතිඥවරයෙකු පොලිස්ථානයකට පැමිණෙ නම් අදාල පොලිස්ථානයේ ඒ අවස්ථාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට භාරදිය යුතුයි.

- එවැනි අවස්ථාවක අදාළ භාර දීම සිදුකළ දිනය, වේලාව සමඟ භාරදීම නීතිඥවරයෙකු ඉදිරිපිට සිදු වූ බව අදාළ භාර ගැනීම සිදුකළ පොලිස් නිලධාරියා විසින් පොලිස් තොරතුරු පොතෙහි සටහන් කළ යුතුයි.

- මෙම රීති උල්ලංඝනය කිරීම හෝ උල්ලංඝනය කිරීමට ආධාර අනුබල දීම පොලිස් සේවයේ කවර හෝ නිලයකට අයත් කිසිම නිලධාරියෙකු විසින් නොකළ යුතුයි.

- මෙම රීති වල පිටපත් පොලිස්පතිවරයා විසින් ලංකාවේ පිහිටි සෑම පොලිස්ථානයකම යැවිය යුතුයි.

- එසේම මෙම රීති යථා පරිදි සහ තදින්ම ක්‍රියාත්මක වන බව සහතික වීම පොලිස් ස්ථානභාර නිලධාරීන්ගේ වගකීම වෙනවා.

- මෙම රීති නිසිපරිදි ක්‍රියාත්මක වේදැයි සොයා බැලීම පිණිස හතර දෙනෙකුගෙන් යුත් කමිටුවක් පිහිටුවිය යුතුයි.

එහි සාමාජිකයින් විය යුත්තේ,

¡ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් නිලයට අඩු නොවන නිලයකට අයත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලදාරිවරයෙකු.

¡¡ ශ්‍රී ලංකා නීතිඥ සංඟමයේ සභාපතිවරයා,

¡¡¡ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නීති අධ්‍යක්ෂක,

¡v පොලිස් කොමිසමේ සාමාජිකයකු . 


- මෙම රීති කඩ කරන නිලධාරීන්ට එරෙහිව පොලිස් ආඥා පනතේ 55 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතුයි.

- ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව විසින් අදාළ නිලදාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවත්විය යුතුයි.